පාලමේ නැව හැපීමඃ විෂ බහාලුම් යකා කියන තරම් කළු නෑ

114

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

ඉකුත් දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදුන් ඇමරිකාවේ බැල්ටිමෝර් පාලමේ ගැටුණු ඩාර්ලි නෞකාවේ තිබුණු බහාලුම් අතරින් ශ්‍රී ලංකාවට ගොඩබෑමට තිබුණේ එක් අනතුරුදායක බහාලුමක් පමණක් බවත් ඒ තුළ අන්තර්ගත වූ භාණ්ඩ සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බවත් වරාය, නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (03 දා) එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

මෙම නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ මාධ්‍යවල පළ වූ වාර්තා අසත්‍යයි. මෙම නැවේ ගමනාන්තය ශ්‍රී ලංකාව බව සඳහන් වුවත් එය අසත්‍යයක්. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව නැව චීනය බලා ගමන් කිරීමට නියමිතව තිබුණා.

මෙම නෞකාවේ අනතුරුදායක බහාලුම් 56ක් තිබුණා. ඒ අතරින් ලංකාවට ගොඩබෑමට නියමිතව තිබුණේ එක් අනතුරුදායක බහාලුමක් පමණයි. ඒ තුළ අන්තර්ගත වූයේ මොනවා දැයි අපි දැනුවත් නැහැ. සාමාන්‍ය ක්‍රමවේදය අනුව නැව වරායට ළඟාවීමට පැය 48කට පෙර තමයි නැවේ බහාලුම්වල ඇති භාණ්ඩ පිළිබඳව වරාය අධිකාරිය දැනුවත් කරන්නේ. අනතුරුදායක භාණ්ඩ කියූ පමණින් මේවා විෂ රසායනික වන්නේ නැහැ. සමහරවිට ටිනර්, තීන්ත වැනි දෑ වුවත් අයත් වන්නේ අනතුරුදායක භාණ්ඩ කාණ්ඩයටයි.

සාමාන්‍යයෙන් මාසයකට ලංකාවට පැමිණෙන නෞකාවල අනතුරුදායක බහාලුම් 2000-3000 අතර ප්‍රමාණයක් එනවා. ඒවා අතරින් 15% – 20% අතර ප්‍රමාණයක් පමණයි මෙරටට ගොඩබාන්නේ. එම බහාලුම් මෙරටට ගොඩබෑමට පෙර සම්පූර්ණ පරීක්ෂාවක් කරනවා. මේ සඳහා ශ්‍රී ලංකා රේගුව, වරාය අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක් සම්බන්ධ වෙනවා. අනෙක් බහාලුම් ප්‍රති අපනයනය සඳහා රැගෙන එන ඒවා. ඒවා කිසිසේත්ම රට ඇතුළට එන්නේ නැහැ.

නාවික ක්ෂේත්‍රයේ තියෙන නීතිරීති අනුව නැවක රැගෙන එන කන්ටේනර්වල තිබෙන්නේ මොනවා දැයි අපිට දැනුම් දෙන්නේ නැව වරායට ළඟාවීමට පැය 48කට පෙරයි. එතෙක් අපි දන්නේ නැහැ නැවේ තියෙන්නේ මොනවා දැයි කියලා. අපිට දැනුම් දුන් පසුව රේගුව විසින් මෙම බහාලුම් පරීක්ෂා කරලා බලලා තමයි එළියට ගන්නේ. මේක සාමාන්‍ය ක්‍රමය?

මේ නෞකාවේ සම්පූර්ණයෙන්ම විෂ රසායනික රැගෙන එමින් තිබුණු බවත්, ඒවා සියල්ල ලංකාවට ගොඩබෑමට නියමිතව තිබුණු බවත්, ලංකාවට ගෙන්වූ පුද්ගලයා අභිරහසක් බවත් බොහෝ මාධ්‍යවල සඳහන් වුණා. එය ඉතා බරපතළ කතාවක්. මෙවැනි බිල්ලන් මවන්න එපා කියලා මම මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා. යැයි ද ඇමැතිවරයා මෙහිදී කීවේය.

මෙම මාධ්‍ය හමුව සඳහා වරාය අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂ යූ. කුමාර, කොළඹ අන්තර් ජාතික මෙහෙයුම් පර්යන්තයේ සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) තුසිත් ජෝර්ජ් යන මහත්වරු ද එක්වූහ.
කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment