කබලෙන් ලිපට වැටුණු ජනයාට විදුලි සැර වැදීම

218

මේ අනුව ජනයාට විදුලි බිල තවදුරටත් දරා ගැනීමට නොහැකි මට්ටමට වැඩිවනු ඇත. අනිත් අතට කර්මාන්ත ව්‍යාපාර යනාදියේ විදුලි වියදම් වැඩි වීම නිසා ඔවුන්ගේ ව්‍යාපාරවල නිෂ්පාදන වියදමට ද එය බලපානු ඇත. එය අපනයන කර්මාන්තයක් නම් එය ඔවුන්ගේ අපනයන තරගකාරීත්වයට ද අහිතකර ලෙස බලපානු ඇත. දේශීය නිෂ්පාදන කර්මාන්තවල නිෂ්පාදන පිරිවැය ද වැඩි වීම, හරහා භාණ්ඩ හා සේවාවල මිල වැඩි වීමට ද ඒ තත්ත්වය තවදුරටත් හේතුවනු ඇත.

● විදුලි නිෂ්පාදන පිරිවැයට හේතු

ජනයාට දෙවන වරටත් මේ ආණ්ඩුව විසින් මාරාන්තික විදුලි සර වැද්දීමට නියමිතව තිබේ. ඒ යෝජිත නව විදුලි ගාස්තු වැඩි කිරීම හරහාය. දැනටමත් වැඩි වී ඇති විදුලි ගාස්තුව පවා දරාගත නොහැකිව සිටින ජනයාට තවත් වරක් විදුලි සර වැද්දවීමට ආණ්ඩුව කටයුතු කරන්නේ ඇයි? පිරිවැය ආවරණය වන මිල ප්‍රතිපත්තියක් කිව්වත් මෙතරම් විදුලි නිෂ්පාදන වියදම් ඉහළ ගියේ ජනයාගේ වරදින්ද? විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන සහ ගල් අඟුරු ඇතුළු ආනයනික වියදම් ඉහළ ගියේ ඒවායේ ලෝක මිල ගණන් වැඩි වීම නිසාම නොව අපේ රුපියල විශාල වශයෙන් මස්තබාල්දු වීම නිසාය. රුපියල 203 ක අගයේ දිගු කලක් පවත්වාගෙන ගොස් සංචිත ටික දිය වී එය තවත් අල්ලාගෙන සිටීමට නොහැකි වූ තැන අන්තිමට කළේ රුපියල එකවරම අතහැරීමයි. ඒ නිසා රුපියල දිනපතාම විශාල වශයෙන් පිරිහීමට ලක්ව අන්තිමට එය මේ මට්ටමේ හෝ යම් දුරකට ස්ථාවර කර ගැනීමට හැකි වූයේ වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත් වූ පසුව ය. ඒ අනුව මේ වන විට ඇමෙරිකානු ඩොලරයක අගය රු.371 පමණ ස්ථාවර වී ඇත. රු.203 සිට රු.371 දක්වා ඩොලරයකට වැඩි මුදලක් ගෙවීමට සිදුවීමේ වරද කාගේ ද? ඒ පාපය දැන් විදුලි පාරිභෝගික ජනයාට ද දැරීමට සිදුව ඇත. අනෙකුත් සමස්ත පාරිභෝගික ජනයාට මෙන්ම ව්‍යාපාරික අංශවලට ද දැරීමට සිදුව ඇත. මේ ආණ්ඩුවට වෙනත් සියලු විකල්ප සලකා බලා තවත් වරක් විදුලි ගාස්තු නැංවීමක් මේ මොහොතේ නොකර සිටීමට හැකිතාක් උත්සාහ ගත හැකි නම් එය වඩාත් මැනවයි අපි රජයට යෝජනා කරමු.

● තරු විසිවෙන විදුලි බිල

‘ජනවාරි මාසයේ සිට විදුලි බිලෙන් තරු විසිවෙයි’ මේ ඊයේ (11) ‘දිවයින’ පත්‍රයේ ප්‍රධාන ප්‍රවෘත්තියයි. එහි සඳහන් වන තොරතුරු ඇසූ විට ඇඟ කිළිපොලා යයි. එම පුවතේ සඳහන් වන පරිදි කැබිනට් අනුමැතිය හිමිවූ නව විදුලි බිල සංශෝධනයට අනුව මාසිකව ඒකක 30 ක් භාවිත කළ දිළිඳු ජනතාවගේ විදුලි බිල රුපියල් 360 සිට 1300 දක්වාත් ඒකක 31 සිට 60 දක්වා භාවිත කරන පාරිභෝගිකයන්ගේ විදුලි බිල රුපියල් 780 සිට 2560 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා වී තිබේ. ඒකක 30 දක්වා අය කරන ස්ථාවර ගාස්තුව රුපියල් 400 ක් ලෙසත් ඒකක 31 සිට 60 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත් ඉහළ දමා ඇත. ඒකක 60 දක්වා ඒකකයට රුපියල් 16 බැගින් වූ විදුලි බිල අය කිරීම රුපියල් 16 සිට 42 දක්වා වැඩිවී ඇත. ඒකක 61 සිට 90 දක්වා ඒකකයකට අය කිරීම රුපියල් 42 ක් ලෙස සංශෝධනය කර ඇති අතර එහි ස්ථාවර ගාස්තුව රුපියල් 650 කි. ඒ අනුව ඒකක 90 දක්වා විදුලිය පරිභෝජනය කරනු ලබන පාරිභෝගික ජනතාව මෙතෙක් ගෙවනු ලැබූ රුපියල් 1880 ක් පමණ වූ විදුලි බිල රුපියල් 4430 දක්වා වැඩි වේ. නව සංශෝධනයට අනුව ඒකක 91 සිට 120 දක්වා ඒකකයක මිල වෙනසක් සිදු කර නොමැති අතර ස්ථාවර ගාස්තුව රුපියල් 1500 දක්වා ඉහළ දමා ඇත. ඒ අනුව එම කාණ්ඩයේ මාසික විදුලි බිල රුපියල් 9780 ක් වනු ඇත. ඒකක 121 සිට 180 දක්වා ද ඒකකයක මිල සංශෝධනයක් සිදු කර නැතත් ස්ථාවර ගාස්තුව රුපියල් 1500 ක් වේ. එසේම ඒකක 180 වැඩි පාරිභෝගිකයන්ගේ ස්ථාවර ගාස්තුව ද රුපියල් 2000 දක්වා ඉහළ දමා තිබේ. එසේම ඒකක 31 සිට 90 දක්වා රුපියල් 15 ක්ව පැවැති ඒකකයක මිල රුපියල් 37 දක්වා ඉහළ දමා ඇති අතර එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව ද රුපියල් 550 ලෙස සංශෝධනය කර තිබේ. එම පුවතේ සඳහන් පරිදි ආගමික ස්ථාන සඳහා ඒකකයක මිල මෙන්ම ස්ථාවර ගාස්තුව වැඩිකර ඇත. එසේම කර්මාන්ත සහ ව්‍යාපාරික අංශවල විදුලි බිල ද වැඩි වනු ඇත. මහජන උපයෝගිතා කොමිසම සමග සාකච්ඡා කර ඔවුන් ඉදිරිපත් කරනු ලබන ක්‍රියාත්මක කළ හැකි සංශෝධන කෙරෙහි සැලකිල්ලක් දක්වා මෙම ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව මිල සංශෝධනය සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව කැබිනට් මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ වී ඇත.

මේ අනුව ජනයාට විදුලි බිල තවදුරටත් දරා ගැනීමට නොහැකි මට්ටමට වැඩිවනු ඇත. අනිත් අතට කර්මාන්ත ව්‍යාපාර යනාදියේ විදුලි වියදම් වැඩි වීම නිසා ඔවුන්ගේ ව්‍යාපාරවල නිෂ්පාදන වියදමට ද එය බලපානු ඇත. එය අපනයන කර්මාන්තයක් නම් එය ඔවුන්ගේ අපනයන තරගකාරීත්වයට ද අහිතකර ලෙස බලපානු ඇත. දේශීය නිෂ්පාදන කර්මාන්තවල නිෂ්පාදන පිරිවැය ද වැඩි වීම හරහා භාණ්ඩ හා සේවාවල මිල වැඩි වීමට ද ඒ තත්ත්වය තවදුරටත් හේතුවනු ඇත. මේ පසුබිම තුළ ඇතැම් අපනයන කර්මාන්ත ශාලා මෙරට වසා දමා ඒවා වෙනත් නිෂ්පාදන පිරිවැය අඩු රටවල ස්ථාපිත කිරීමට ද බැරිකමක් නැත. දැනටම ඒ සම්බන්ධ ආරංචි තිබේ. මේවා රටක් ලෙස අපගේ ඉදිරි ආර්ථික ගමන්මගට අහිතකර ලෙස බලපානු ඇත.

● විකල්පයක් නැද්ද?

මේ විදුලි සර වද්දන විදුලි ගාස්තු නැංවීම වෙනුවට වෙනත් කිසිම විකල්පයක් නැතැයි අපි විශ්වාස නොකරමු. එනම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිඟ බදු තවත් විශාල මුදලක් අයකර ගැනීමට ඇත. ඒවා අය කරගත යුතු අතරම උපයන විට ගෙවීමේ බද්ද රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මගින් තම නිලධාරීන් වෙනුවෙන් ගෙවීම සෑහෙන කාලයක් තිස්සේ සිදුකර ජනයාට විශාල බර පැටවීම් කර ඇත. එසේම මැති ඇමැතිවරුන්ගේ හිඟ විදුලි බිල් කොපමණ අය කරගෙන නැතිව තිබෙනවා ද? ඒ හිඟ මුදල් ද අයකර ගත යුතුව තිබේ. එසේම ඇතැම් පාඩු ලබන ආයතනවල පවා බෝනස් ගෙවීම් සිදුකර තිබේ. ප්‍රසාද දීමනා යනු ලාභයෙන් ගෙවන දෙයකි. ලාභ නොලබන ආයතනවල සේවකයන්ට බෝනස් ගෙවන්නේ කෙසේ ද? තවත් වංචා, දූෂණ හා අක්‍රමිකතා රජයේ විගණන වාර්තාවලින් කොතෙකුත් අනාවරණය වෙයි. එහෙත් ඒවාට ගන්නා පියවරක් තිබේ ද? කුප්‍රකට බැඳුම්කර වංචාවේ මුදල් රජයට අයකර ගැනීමට ක්‍රමයක් නැද්ද? මේ ප්‍රශ්න අපට තිබේ. මෙවැනි අක්‍රමිකතා තවමත් සිදු වෙමින් තිබෙනවා නම් ඒ ගැන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රශ්න කර තිබේ නම් එහි අර්ථය රාජ්‍ය මූල්‍ය විනය ගැන තවමත් බලවත් වැරදි සිදුවෙමින් පවතින බව නොවේ ද?

● උපයන විට ගෙවීමේ බද්ද

උපයන විට ගෙවීමේ බද්ද රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මගින් ගෙවීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඊට අදාළ චක්‍රලේඛය මෙම සතිය තුළ නිකුත් කරන බව ද ඇමැතිවරයා කියයිමෙය බොහෝ කලකට පෙර කළ යුතුව තිබූ දෙයකි. උපයන විට ගෙවීමේ බද්ද පනවා ඇත්තේ කිසියම් සීමාවක් ඉක්මවා ආදායම් ලබා ගන්නා පුද්ගලයන් විසින් රජය වෙත ගෙවිය යුතු බද්දක් ලෙසය. එසේ නම් එම ආදායම් නිලධාරීන් විසින් පෞද්ගලිකව එම බදු බර දැරිය යුතු වේ. එහෙත් ඒ එම බද්ද අදාළ රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මගින් ගෙවා ඒ බදු බර මහජනතාව පිට පැටවීමයි. මෙය ඉතාම වැරදි ප්‍රතිපත්තියකි. විය යුත්තේ ඉදිරියට මේ වැරදි ක්‍රමය නැවැත්වීම පමණක් නොව එසේ වැරදියට ගෙවන ලද මහජනයා පිට පටවන ලද බදු මුදල් නැවත එම ප්‍රතිලාභ ලැබූ නිලධාරීන් වෙතින් අය කර ගැනීමයි. ඇතැම් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන මගින් අදාළ නිලධාරීන්ගේ එම බද්ද ගෙවීමේ සිදු වීම් මීට පෙර වාර්තා වී ඇති බව ද රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා පෙන්වා දෙයි. එහෙත් රට වර්තමානයේ පවතින තත්ත්වය තුළ මෙවැනි අක්‍රමිකතාවලට ඉඩ තැබිය නොහැකි බවයි සියඹලාපිටිය මහතා සඳහන් කරයි. එහෙත් අප ඇමැතිවරයාට කිව යුතු වන්නේ රට මේ අමාරු තත්ත්වයේ නොතිබුණත් එනම් රට කෙතරම් හොඳ තත්ත්වයේ තිබුණත් මේ බදු මුදල් අදාළ ආයතන විසින් නොගෙවිය යුතු බවයි. මේ ගැන කරුණු දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ සඳහන් කළේය.

“රාජ්‍ය වෙන්න පුළුවන්, අර්ධ රාජ්‍ය වෙන්න පුළුවන්, පෞද්ගලික අංශයේ වෙන්න පුළුවන් යම් සීමාවකට වැඩියෙන් ඉපයීමක් කරනව නම් ඔවුන් උපයන විට බද්දට යටත් වෙනවා. නමුත් පසුගිය වකවානුවේ දී විශේෂයෙන් අර්ධ රාජ්‍ය, සංස්ථාවල යම් යම් සේවා ගිවිසුම් ඇති කරගෙන තිබුණ තත්ත්වයන් මත උපයන විට ගෙවීමේ බද්ද අදාළ ආයතනය විසින්ම ගෙවන අවස්ථාවන් අපට අත්විඳින්න ලැබුණ. එවැනි අකාර්යක්ෂමතාවන්ට මේ අවස්ථාව නෙවෙයි. මේ පිළිබඳ ඉතා නිරවුල්ව සොයා බලා ඒ ගෙවීම වළක්වාලමින් පැහැදිලි චක්‍රලේඛයක් සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන වෙත නිකුත් කරනවා”

● සල්ලි අච්චු ගැසීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට සල්ලි අච්චු ගැසීම තහනම් කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන ලදැයි මාධ්‍ය වාර්තා කර ඇත.

පෙරේදා (10) පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දී මේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා ඇත.

“අපි දිගටම සල්ලි අච්චු ගහලා, අච්චු ගහලා ණය අරගෙන ඒම තුළ තමයි නිදහසින් අවුරුදු 75ක් ගතවෙන කොට අපිට ඒ ගත්ත ණය බේරුම් කරන්න බැරුව මේ දරුණු ආර්ථික අර්බුදය ඇතිවෙලා තියෙන්නේ, දිගින් දිගටම සියලු වියදම්, එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් දරා ගත්තේ සල්ලි අච්චු ගහලා.

“දැන් අපිට ණය හිමියන්ට ඒ ණය නොගෙවීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් ණය දෙන ආයතන විසින් සල්ලි අච්චු ගැසීම තහනම් කරලා තියෙනවා. සල්ලි අච්චු ගැසීම කරන්න දෙන්නේම නැහැ. ඒ තත්ත්වය තුළ තමයි රටේ මූල්‍ය කළමනාකරණය කරන්න සිද්ධවෙලා තියෙන්නේ.”

● උද්ධමනය සහ පොලී අනුපාත

පොලී අනුපාත අඩු වනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් සිටී. උද්ධමනය පසුගිය ඔක්තෝබර් මාසයේ සිට අඩු වීමට පටන් ගත්තේය. මේ ප්‍රවණතාව දිගටම පවතිමින් උද්ධමනය 2023 වසරේ පළමු භාගයේ දී පහළ ගොස් 2023 වසර අවසානය වන විට අපේක්ෂිත උද්ධමන මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

● වෙළෙඳ හිඟය අඩු වේ

වෙළෙඳ ගිණුමේ හිඟය යනු අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරයයි. තවමත් අපනයන ආදායමට වඩා ආනයන වියදම් අපේ වැඩි නිසා කාලාන්තරයක් තිස්සේම අපේ පවතින්නේ වෙළෙඳ හිඟයකි. 2022 වසරේ නොවැම්බර් මාසයේදී වෙළෙඳ හිඟය, පසුගිය වසරේ (2021) නොවැම්බර් මස පැවැති අමෙරිකානු ඩොලර් මිලියන 553ක වෙළෙඳ හිඟයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක් දක්වා පහළ බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 1ල211ක් ලෙස සඳහන්ව තිබූ අතර එය මෙම වසරේ නොවැම්බර් මාසයේ ඩොලර් මිලියන 994ක් දක්වා පහළ ගොස් ඇති බව එහි සඳහන්ය. එමෙන්ම 2021 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය වසරේ (2022) නොවැම්බර් මස වෙළෙඳ භාණ්ඩ ආනයනය ද සියයට 18.1කින් පහළ ගොස් තිබේ. එනම් 2021 වසරේ නොවැම්බර් මාසයේ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 1ල765ක් ලෙස සඳහන් වූ අතර එය ගිය වසරේ (2022) එම මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1ල445ක් ලෙස සඳහන්ව තිබේ. එසේම 2021 වසරේ පළමු මාස එකොළහේ ඇමෙරිකානු ඩොලර් මිලියන 7054 ක් වූ වෙළෙඳ හිඟය ගිය වසරේ (2022) ඇමෙරිකානු ඩොලර් මිලියන 4839 ක් දක්වා සැලකිය යුතු ලෙස අඩු වී ඇත. මෙම වෙළෙඳ හිඟය අඩුවීම හොඳ දෙයක් වුවත් ආර්ථිකය ලබන වසරේ (2024) සිට වර්ධනය වෙද්දී දැඩි ආනයන පාලනයන් ක්‍රමයෙන් ලිහිල් කිරීමට සිදුවනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@ gmal.com

advertistmentadvertistment
advertistmentadvertistment