නැවත විවෘත වන බවක් පේන්න නෑ…

මෙරට ක්‍රියාත්මකව පැවැති ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙලක්‍ෂ හැටතුන්දහසක් වැසී ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව 2018 වර්ෂය වන විට සක්‍රීයව පැවැති ක්ෂුද්‍ර ව්‍යාපාර 254,000 ක්, කුඩා පරිමාණ ව්‍යාපාර 6,900 ක් සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර 1,800 ක් වැසී ගොස් ඇත. එම ව්‍යාපාරවලින් 197,000 ක් ස්ථිරව අගුළු වැටී ඇති බවත් තවත් ව්‍යාපාර 56000 ක් තාවකාලිකව වසා දමා තිබෙන බව ද වාර්තා වේ. ස්ථිරව වසා දමා ඇති ව්‍යාපාරවලින් 27,600 ක් පවත්වාගෙන ගොස් ඇත්තේ කාන්තාවන්ය. තාවකාලිකව වසා දමන ලද ව්‍යාපාරවලින් 11,700 ක් පවත්වාගෙන ගොස් ඇත්තේ ද කාන්තාවන්ය.

එම තොරතුරු අනාවරණය වී ඇත්තේ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කෙරෙහි ආර්ථික අර්බුදයේ බලපෑම තක්සේරු කිරීම සඳහා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයේ මාර්තු මස සිට ජූනි මාසය දක්වා සිදු කරන ලද සමීක්‍ෂණයේ ප්‍රතිඵලයක් ලෙසය. මෙරට කෘෂිකාර්මික නොවන කටයුතුවලට සම්බන්ධ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 7,813 ක් නියැඳි ලෙස යොදාගනිමින් සිදු කරන ලද සමීක්‍ෂණයේදී අවධානය යොමු කර ඇත්තේ 2018 වර්ෂයේදී ක්‍රියාත්මක වූ, 2022 වර්ෂය වනවිට සක්‍රීයව ක්‍රියාත්මක නොවන ව්‍යාපාරික ස්ථානය. 2018 වර්ෂයෙන් පසුව ආරම්භ කරන ලද නව ව්‍යාපාර එම සමීක්‍ෂණයට ඇතුළත් කරගෙන නොතිබිණි. ඒ අනුව 2018 වර්ෂය අවසාන වන විටදී මෙරට සක්‍රීයව පැවැති ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාව ලක්‍ෂ 13 කි. එම ව්‍යාපාරික ස්ථානවලින් වැඩිම සංඛ්‍යාවක් වසා දමා ඇත්තේ 2020 වර්ෂයේදී ය. ප්‍රතිශතයක් ලෙස සියයට 33.4 කි. එමෙන්ම 2019 වර්ෂයේදී ව්‍යාපාරික ස්ථාන 9.9% ක්, 2021 වර්ෂයේදී ආයතන 27.4% සහ 2022 වර්ෂයේදී ආයතන 29.3% ක් ද වසා දමා තිබේ.

සමීක්‍ෂණ වාර්තාව කියවාගෙන යනවිට පාස්කු ප්‍රහාරයේ මරලතෝනීය මගේ දෙසවනේ දෝංකාර දෙන්නට ගත්තේය. සිත සලිත විය. ගත හිරිවැටිණි. තිස් වසරක ත්‍රස්තවාදී අරගලයෙන් පසු මෙරට ශක්තිමත් වී තිබුණු ආර්ථිකය විනාශ මුඛයට ඇද වැටීමේ ප්‍රථම බෝම්බය 2019 වර්ෂයේ සහරාන්ගේ පාස්කු ප්‍රහාරය බවට විවාදයක් නැත. ඒ මූසල අන්ධකාර දිනයෙන් පසු මෙරට සිටි විදේශීය සංචාරකයෝ මරණ බියෙන් සලිත වී යන්න ගියහ. මෙරට සංචාරක කර්මාන්තය චණ්ඩ මාරුතයකට හසු වූ මහා වෘක්ෂයක් සේ කඩා වැටිණි. සුද්දන්ට තැඹිලි කැපූ, වෙස් මුහුණු විකිණූ අහිංසක වෙළෙන්දාගේ සිට සංචාරක කර්මාන්තයට සේවා සැපයූ සුළු, මධ්‍ය පරිමාණ සියලු ව්‍යාපාර කඩා වැටිණි. 2018 වර්ෂය තුළ මෙරට ට පැමිණි මිලියන තුනකට ආසන්න විදේශීය සංචාරකයන් සංඛ්‍යාව, එම වර්ෂය තුළ මෙරට ආර්ථිකයට එකතු වූ ඩොලර් බිලියන පහකට ආසන්න ආදායම දරාගත නොහැකි ලෙසට පහළ වැටිණි. සංචාරක කර්මාන්තයේ කඩා වැටීමත් සමඟ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අගුළු වැටීම ආරම්භ විය. මෙරට සමස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ කඩා වැටීමට සහරාන්ගේ පාස්කු ප්‍රහාරය 8% ක පමණ සෘජු බලපෑමක් එල්ලකර ඇති බව සැබෑය. අනතුරුව ලොව පුරා පැතිර ගිය කොවිඩ් වෛරසය 2020 – 21 වර්ෂවලදී මෙරට ව්‍යාප්තවීමත් සමඟ ආනයන, අපනයන වෙළෙඳාම නතර විය. එහි ප්‍රතිඵලයක් ලෙස මහා පරිමාණ කර්මාන්තවලට සාපේක්‍ෂව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට දැඩි බලපෑමක් එල්ල විය. විදේශීය අමුද්‍රව්‍ය මත යැපුණු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඇනහිටිණි. ආනයන නතර වී නැව් ගමනාගමනය සීමා වීම තුළ විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කොටගෙන භාණ්ඩ නිෂ්පාදනය කළ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ අපනයන වෙළෙඳාම නතර විය. විසිතුරු භාණ්ඩ, විසිතුරු මසුන්, මත්ස්‍ය එකී නොකී සියලුම සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට හතේ, හත වැදිණි. සියලු ක්‍ෂේත්‍ර අකර්මණ්‍ය කර කොවිඩ් වසංගතය සාමාන්‍ය බෝවන රෝගයක් තත්ත්වයට පත්වන පසුබිමක ලෝක ආර්ථික අර්බුදය මෙරට ට දැඩිව දැනෙමින් තිබිණි.

ක්‍රමයෙන් උත්සන්න වූ ආර්ථික අර්බුදය තුළ ඩොලරයේ අගය ඉහළ ගොස්, භාණ්ඩ ආනයනය සීමා කිරීමත් සමඟ අමුද්‍රව්‍ය ලබාගැනීමට ඇති නොහැකියාව නිසා අමාරුවෙන් කරගෙන ගිය ඉතිරි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ද අගුළු වැටිණි. ආනයන සීමා කිරීම, අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ ණයවර ලිපි නිකුත් කිරීම අවම වීම තුළ මහා පරිමාණ කර්මාන්ත ද අපහසුවෙන් පවත්වාගෙන යන තත්ත්වයට පත් විය. කලට වෙලාවට ගල්අඟුරු ආනයනය කරගැනීමට නොහැකිවීම, ගල්අඟුරු මිල අධික ලෙස ඉහළ යෑම තුළ මෙරට යකඩ උණු කර භාණ්ඩ නිෂ්පාදනය කරන බොහෝ ආයතන වසා දැමිණි. පොලිතීන්, ප්ලාස්ටික් කර්මාන්තයට ද ඒ නස්පැත්තියම සිදු විය. ඒ තුළ දේශීය ඇසුරුම් කර්මාන්තය කඩා වැටීම මෙරට සමස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයට මරු පහරක් වැදිණි. කඩදාසි ආනයනය සීමාවීම තුළ මුද්‍රණ කර්මාන්තයේ මහා පරිමාණ කර්මාන්ත ඉතිරි වෙන්න සුළු කර්මාන්ත නැවත ගොඩනැඟිය නොහැකි තත්ත්වයට අගුළු වැටිණි. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අවශ්‍ය යකඩ ඇණයේ සිට ආනයන සීමා කිරීම, මෙරට යකඩ නිෂ්පාදන මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම, සිමෙන්ති වෙළෙඳාම ඒකාධිකාරියක් වීම තුළ සමස්ත ඉදිකිරීම් ක්‍ෂේත්‍රය ද කඩා වැටිණි. 2015 වර්ෂය වන විට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයෙන් මෙරට ආර්ථිකයට ලබාදුන් 17% ක දායකත්වය 2018 වර්ෂය වන විට 6% දක්වා පහතට වැටිණි. ඉදිකිරීම් කර්මාන්තය අකර්මණ්‍යවීම තුළ දේශීය උළු කර්මාන්තය, ගඩොල් කර්මාන්තය, සිමෙන්ති ගල් නිෂ්පාදන කර්මාන්තය, විසිතුරු කොන්ක්‍රීට් ගල් නිෂ්පාදනය, වෙනත් කොන්ක්‍රීට් භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත කඩා වැටිණි.

රසායනික පොහොර, කෘමි නාශක තහනමත් සමඟ සමස්ත වැවිලි කර්මාන්ත ක්‍ෂේත්‍රයට මරු පහරක් වැදිණි. වී ගොවිතැනක්, එළවළු කොරටුවක් කරගෙන ජීවත් වූ මිනිසුන් නන්නත්තාර විය. හාල්, එළවළු මිල පමණක් නොව කුණු කාණුවෙන් කඩාගෙන මිටි බැඳ විකුණන කංකුං මිටියේ මිලත් තෙගුණයකින් පමණ වැඩි විය. රසායනික පොහොර, තෙල් බෙහෙත් අර්බුදය සමනය වන පසුබිමක ඉන්ධන, ගෑස් අධික මිලකින් ඉහළ ගොස් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය විය. ඉන්ධන මිල ඉහළ යෑම නිසා මුහුදට යෑමට වත්කමක් නැති බහුදින යාත්‍රා ගස් බැඳිණි. සමස්ත ධීවර කර්මාන්ත අකර්මණ්‍ය විය. ඉන්ධන, ගෑස් මිලේ අධික මිල වැඩිවීම මෙරට සමස්ත ක්‍ෂේත්‍රයන්ට මෙන්ම ජන ජීවිතවලට ද දැඩි බලපෑමක් එල්ල කෙරිණි. සියලු භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියහ. පාන් පිටි, සීනි, බේකරි නිෂ්පාදනවලට අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම තුළ පිටි කෑම නිෂ්පාදනවල මිල තෙගුණයකින් පමණ වැඩි විය. භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑමට සාපේක්‍ෂව ජනතාවගේ ආදායම් තත්ත්වය වැඩි නොවෙන පසුබිමක මිල දී ගැනීමේ හැකියාව අවම වී මෙරට සමස්ත බේකරි කර්මාන්තයේ 60% කට වැඩි ප්‍රමාණයක් ඈවර කිරීමට සිදු විය. රටේ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව හිනවීම නිසා දේශීය සෙරමික් කර්මාන්තයේ මහා පරිමාණ කර්මාන්ත පහක් අසීරුවෙන් කරගෙන යන පසුබිමක සුළු හා මධ්‍ය පරිමාණ සියලු සෙරමික් කර්මාන්ත වැසී ගියහ. සත්ව ආහාර ආනයනය නතර කිරීම, මෙරට බඩඉරිඟු අස්වැන්න අඩුවීම, හාල් මිල වැඩිවීමත් සමඟ දහයියා ගෝනියේ සිට සියලු සත්ව ආහාර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම නිසා සුළු හා මධ්‍ය පරිමාණ සත්ව ගොවිපළවල් 80% ට ආසන්න ප්‍රමාණයක් වැසී ගියහ. මස්, බිත්තර පිටරටින් ආනයනය කරන තත්ත්වයක් රට තුළ නිර්මාණය විය.

මෙරට සමස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ 50% ට ආසන්න සංඛ්‍යාවක් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වීම තුළ 2022 වර්ෂයේ අගෝස්තු මාසයේදී කර්මාන්තශාලාවල විදුලි ගාස්තුව 75% කින් වැඩි කෙරිණි. එම විදුලි ගාස්තු වැඩිවීමත් සමඟ ගහෙන් වැටී හතර හන්දි කැඩුණු මිනිහාට ගොනා ඇන්නා වැනි දෙයක් මෙරට කර්මාන්ත ක්‍ෂේත්‍රයට සිදු විය. එම බර කර්මාන්තකරුවන් විසින් පාරිභෝගික ජනතාව මත පටවා සැහැල්ලු විය. එහෙත් භාණ්ඩ මිල වැඩිවී, මිලදීගැනීමේ හැකියාව තවත් දුර්වලවීම තුළ ජනතාව මත පැට වූ විදුලි ගාස්තුව නැවත කර්මාන්තකරුවන් දෙසට විතැන් විය. ඒ අල්ලපනල්ලේ රජය විසින් සියලු බදු අනුපාත වැඩි කර, බැංකු පොලී අනුපාත ද වැඩි කෙරිණි. 6% ට 7% ට ලබාගත් බැංකු ණයවල පොලිය 30% ට 32% වැඩි කෙරිණි. 12% ට 13% ට තිබුණු තාවකාලික ආනයනික ණය පොලී අනුපාතය 32% – 33% න් ඉහළ දැමිණි. තාවකාලික බැංකු අයිරා පහසුකම් ලබාදීම බැංකුවලින් නතර කෙරිණි. 7% ට 8% ට පොලී අනුපාතයන් යටතේ ලබාගත් බැංකු ණයවල පොලිය 20% දක්වා වැඩි කෙරිණි. ගලාගෙන ආ ආර්බුද ගංගාවකින් යට වී දිවි ගලවා ගැනීමට අත්තටු ගහමින් සිටින මිනිසුන් සහිත රටක නැවත 63% න් විදුලි ගාස්තු ඉහළ දැමිණි. ආසියානු කලාපයේ විදුලි ගාස්තු වැඩියෙන්ම අය කරන රටවල් අතර ලංකාව දෙවැනි තැනට උසස් විය. පළමු තැන සිංගප්පූරුවය. එහෙත් සිංගප්පූරුවේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 54000 කි. ඒ වන විට මෙරට ඒකපුද්ගල ආදායම ඩොලර් 2500 කි. මේ ආකාරයෙන් විදුලි ගාස්තු වැඩි කිරීම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට පමණක් නොව මහා පරිමාණ කර්මාන්තවලට ද දරාගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය විය. සමස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ කඩා වැටීම තුළ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල සේවයේ නියුක්තව සිටි ලක්‍ෂ විස්සකට ආසන්න පිරිසකට රැකියා අහිමි විය. එම කර්මාන්තවලින් වක්‍රාකාරයෙන් යැපුණු පිරිස ඊට වැඩි වුණා මිස අඩු නොවන බව ද සැබෑය. විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තශාලාවල සේවා කාලය අඩු කරන තත්ත්වයට විදුලි ගාස්තු වැඩිවීම ඛේදවාචකයක් බවට පත් විය. රට පුරා පවත්වාගෙන ගිය සුළු, මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්තශාලා විශාල සංඛ්‍යාවක් වැසී ගොස් එම ආයතන තුළ සේවය කළ කාන්තාවන් ස්පා තුළ අසහනකාරීන්ගේ ශරීරි කූඩු මිරිකන තත්ත්වයට වැටී සිටිති. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ සමීක්‍ෂණයට අනුව ක්ෂුද්‍ර අංශයට යටත් කුලී ත්‍රිරෝද රථකරුවන්, කුඩා සිල්ලර වෙළෙන්දන්, කොන්ත්‍රාත් පදනම මත ඉදිකිරීම් කටයුතුවල නිරත පුද්ගලයන් විශාල පිරිසකගේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන් ඇන හිට තිබේ. කාන්තාවන් පවත්වාගෙන ගිය කර්මාන්ත බිඳ වැටීම පවුල් සංස්ථාවේ කඩා වැටීමට සෘජු බලපෑමක් වී තිබෙන බව ද සැබෑය. එම කඩා වැටීමත් දරාගැනීමට නොහැකි ආර්ථික පීඩනය තුළ බොහෝ කාන්තාවන් පිටරට රැකියාවලට යෑමේ ප්‍රවණතාවය ද වැඩි වී තිබෙන බව වාර්තා වේ.

කර්මාන්ත කඩා වැටීම, රැකියා අහිමි පිරිස වැඩිවීම තුළ රටේ මුදල් සංසරණය විශාල වශයෙන් ඇනහිට තිබේ. මොනයම් ක්‍රමයකින් හෝ රුපියලක ආදායමක් නොලබන පිරිස විශාල වශයෙන් වැඩි වෙමින් සිටින බව වාර්තා වේ. එවැනි ඛේදනීය තත්ත්වයක් තුළ දේශීය කර්මාන්ත නඟාසිටුවීමට, සමස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයට සිදුව ඇති අගතිය පිටුදකින සාර්ව ආර්ථික මූලධර්ම ක්‍රියාත්මක කිරීමක් රාජ්‍ය අයවැය ප්‍රතිපත්තිය තුළ දකින්නට නොලැබෙන බව ද පෙනේ. අයවැය ප්‍රතිපත්තියත්, මුදල් ප්‍රතිපත්තියත් කේන්ද්‍රගතව ඇත්තේ බදු අය කිරීම් තුළින් ජනතාවගේ මුදල් කොල්ලකෑමටය. ඒ තුළ ජනතාවගේ මිලදීගැනීමේ හැකියාව, ආයෝජන හැකියාව තව, තවත් හීන වෙමින් තිබේ.

මිලදීගැනීමේ හැකියාවට සාපේක්‍ෂව රටේ ජනතාවගේ සියලු අවශ්‍යතා සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබේ. ජනතාවගේ විදුලි පරිභෝජනය විශාල වශයෙන් අඩු වී තිබේ. ජල පරිභෝජනය, ආහාර පරිභෝජනය ද සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබේ. සමස්ත ආර්ථිකය ශීඝ්‍රයෙන් හැකිලෙමින් පවතී. භාණ්ඩ හා සේවා සඳහා පැවැති සමස්ත ඉල්ලුම විශාල වශයෙන් අඩු වී තිබේ. ඉල්ලුම අඩුවීම තුළ වෙළෙඳාම අඩු වේ. එහෙත් හිතා මතා රටේ ආර්ථිකය සංකෝචනය කළ රජය විදේශීය ණය මත යැපීම හැර ඩොලර් උපයන සැලසුම් ඉදිරිපත් නොකිරීම රට ඉදිරියේ තිබෙන දැවෙන ගැටලුවකි.

එවැනි පසුබිමක හුරු පුරුදු පරිභෝජන රටාවට යෑමට නොහැකි මිනිස්සු විශ්වාසභංගත්වයට පත්ව සිටිති. කර්මාන්ත කඩා වැටීම තුළ රැකියා අහිමි වූ මිනිස්සු තම පවුලට වේලක් කන්න දීමට දහදුක් විඳිති. විරැකියාව, දුප්පත්කම ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබේ. මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන ළමයි සංඛ්‍යාව වැඩි වෙමින් තිබේ. මේ තත්ත්වය තුළ කායික සහ මානසික දුබලතාවයන්ගෙන් පෙළෙන අනාගතයක් මෙරට තුළ නිර්මාණය වීම වැළැක්විය නොහැකිය. එම කාලකණ්ණි තත්ත්වය නිර්මාණය කිරීමට වගකිවයුත්තේ පවතින රජය හෝ පැවැති ආණ්ඩු නොවේ. 1977 වර්ෂයෙන් පසු එම ආණ්ඩු පත් කිරීමට මනාපය ලබාදුන් මෙරට පුරවැසියන්ය. එකිනෙකාට ඇඟිලි දික් කර ඵලක් නැත. දැන් හෝ තමන් කළ වරද තේරුම්ගෙන නිවැරැදි කළ යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment