කවරහුද දෙවියන්

524

ත්‍රිපිටකයෙහි දේවතා ශබ්දය බොහෝ තැන යෙදී ඇත්තේ දිව්‍ය ස්ත්‍රිය, දිව්‍ය පුරුෂයාය යන භේදයක් සැලකීමෙන් නොවේ. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පොදු වචනයක් වශයෙන් දෙවියෝ ත්‍රිවිධාකාරය.

  1. සම්මුති දේව: රජවරු

2 උප්පත්ති දේව: සදෙව් ලොව දෙවිවරු

  1. විසුද්ධි දේව: බුදු, පසේ බුදු, මහ රහත් යනුවෙනි.

බුද්ධ දේශනාව අනුව ‘දේව’ යන ව්‍යවහාරයෙන් මූලිකවම හඳුන්වන්නේ සදෙව් ලෝකවල ඉපිද දිව්‍යමය යස ඉසුරු වින්දනය කරන උසස් ජීවි කොට්ඨාසයක් පිළිබඳවය. ප්‍රධාන වශයෙන් මෙසේ දෙවිවරු උපදින දිව්‍යලෝක හයක් පිළිබඳව ධර්මයෙහි සඳහන් වේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රයෙහි දී ‘භූමාටු දෙවියන්’ විසින් භාග්‍යවතුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන දේශනාව පැවැත්වී යැයි ප්‍රීති ඝෝෂා කළහ යයි සඳහන් වේ.

භූමාටු දෙවියන් යනු මනුෂ්‍ය භූමිය ඇසුරු කරගෙන ගස්, ගල්, පර්වත, ගිරිගුහා, ලෙන් ආදිය ඇසුරු කොටගෙන ජීවත්වන දේව කොටසකි. සමහර දෙවිවරු ගසේ මුල්වල සුවඳ ආඝ්‍රාණය කරමින්ද කඳෙහි සුවඳ ආඝ්‍රාණය කරමින්ද, අරටුවේ සුවඳ ආඝ්‍රාණය කරමින්ද, කොළවල සුවඳ ආඝ්‍රාණය කරමින්ද, මල්වල සුවඳ ආඝ්‍රාණය කරමින්ද, ගෙඩිවල සුවඳ ආඝ්‍රාණය කරමින්ද, එම ආඝ්‍රාණයන් ආහාර කොට

ගනිමින්ද ජීවත් වෙති. මෙසේ විවිධාකාර වූ භූමාටු දෙවියෝ සිටිති.

එසේම ආකාශයේ දිව්‍ය විමාන තනාගෙන ජීවත්වන දෙවිවරුද වෙති. එම දෙවිවරු භූමාටු දෙවියන්ට වඩා උසස් වෙති. මොවුන් කුසල බලය හේතුකොට ගෙන ඊට ගැලපෙන සේ විවිධ තලවල ඕපපාතිකව ප්‍රතිසංධිය ලබති.මෙම දෙවිවරු දිවිය ඓශ්වර්යයෙන්, දිව්‍ය තේජසින් දිව්‍ය කීර්තියෙන් බබලන අය වෙති. ඒ අනුව

  1. චාතුම් මහා රාජිත දිව්‍ය ලෝකය
  2. තාවතිංස දිව්‍ය ලෝකය, 3. යාමය දිව්‍ය ලෝකය, 4. තුසිත දිව්‍ය ලෝකය, 5. නිම්මාණරති දිව්‍ය ලෝකය, 6. පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකය

යනුවෙන් දිව්‍ය ලෝක හයක් තිබේ. මේවාට සදිව්‍ය ලෝක යයිද කියති. එම දිව්‍ය ලෝකවල උපත ලබන දෙවිවරුන්ට අධිපතිකම් කරන පාලන දෙවිවරු ද වෙති. ඒ අනුව,

  1. චාතුම්මහා රාජික දෙව්ලොවට අධිපති වන්නේ සතරවරම් දෙවිවරුය. ධ්‍රථරාෂ්ඨ විරූඨ, විරූපාක්ෂ, වෛශ්‍රවණ නමින් එම දෙවිවරු හඳුන්වති.
  2. තාවතිංසයත්ථ චාතුම්මහාරාජිත දෙව්ලොවත් යන දෙදෙව් ලොවට අධිපති වන්නේ සත්දෙව් මහ රජුය.
  3. යාම දෙව්ලොවට අධිපති දෙවිඳුන් සුයාම දෙවිඳුන් වේ.
  4. තුසිත දෙව්ලොවට අධිපති දෙවියන් වන්නේ සංතුෂිත නම් දෙව් මහ රජුය.
  5. නිම්මාණරති දෙව්ලොව පාලන දෙවියන් සුනිම්මිත දෙව් මහ රජුය.
  6. පරනිම්මිත වසවර්ති දෙව්ලොවට අධිපති වනුයේ වසවර්ති දෙව් මහ රජුය.

මේවාට අමතරව බ්‍රහ්මාකායික දෙවිවරු උපදින භූමීන්ද තිබේ.

  1. බ්‍රහ්ම පාරිසජ්ජ වාසී බ්‍රහ්මයෝ
  2. බ්‍රහ්ම පුරෝහිත වාසී බ්‍රාහ්මයෝ
  3. මහා බ්‍රහ්මවාසී බ්‍රහ්මයෝ
  4. පරිත්තාභ වාසී බ්‍රහ්මයෝ
  5. අප්පමාණහ වාසී බ්‍රහ්මයෝ
  6. ආභස්සරවාසි බ්‍රහ්මයෝ
  7. පරිත්තසුභ වාසී බ්‍රහ්මයෝ
  8. අප්පමාණසුභ වාසි බ්‍රහ්මයෝ
  9. සුභකින්න වාසී බ්‍රහ්මයෝ
  10. වේහප්ඵල වාසී බ්‍රහ්මයෝ
  11. අවිහ වාසී බ්‍රහ්මයෝ
  12. අතප්ප වාසී බ්‍රහ්මයෝ
  13. සුදස්ස වාසී බ්‍රහ්මයෝ
  14. සුදස්සී වාසී බ්‍රහ්මයෝ
  15. අකනිට්ඨිකා වාසී බ්‍රහ්මයෝ

මෙසේ දිව්‍යමය ශරීර ඇති උසස් උප්පත්තිය ලබන භූමින් පිළිබඳව බොහෝ සූත්‍ර දේශනා තුළ තොරතුරු හමුවන අතර එම දේවතා ප්‍රමාණය සඛ්‍යාවකින් දැක්විය නොහැකි තරම් වේ. ධම්මචක්කප්පවත්වන සූත්‍රය, මහා සමය සූත්‍රය, ධජග්ග සූතය ආදී සූත්‍ර මෙන්ම සංයුත්ත නිකායේ සනාථ වර්ගයට අයත් දේවතා සංයුත්තයෙහි එන සූත්‍ර අසූ එකක් (81), දේවපුත්ත සංයුත්තයෙහි එන සූත්‍ර තිහක් (30) මාරසංයුත්ත යෙහී එන සංයුත්තයෙහි එන සූත්‍ර විසිපහත් (25), බ්‍රහ්ම සංයුත්තයේ එන සූත්‍ර පහළොවත් (15), සත්ත සංයුක්තයේ එන සූත්‍ර විසිපහත් (25), දීඝ නිකායට අයත් සක්කපඤ්හ සූත්‍ර දේශනාව වැනි බොහෝ සූත්‍ර දේශනා තුළ දෙවියන් පිළිබඳ තොරතුරු දැකිය හැක.

බුදුරජාණන් වහන්සේගේ දෛනික චර්යාවෙහි රාත්‍රි කාලයේ මධ්‍යම යාමයෙහි දස දහසක් සක්වල වසන දෙවියන් අවුත් බුදුරජාණන් වහන්සේ වන්දනාකොට ප්‍රශ්න විචාල අයුරුත් පිළිතුරු දේශනාවෙන් සතුටු වූ දෙවියන් සතුටු සිතින් බැහැරව ගිය අයුරු දැක් වේ. ඛුද්දක නිකායේ විමානවත්ථු පාලියෙහි සඳහන් වන විමාන වාසි දෙවිවරුන් සම්බන්ධ සූත්‍ර අසූපහම තුළ (85) ඒ ඒ දෙවියන් කරන ලද පිංකම් සහ එහි විපාක ලැබීම් විස්තර කර තිබේ. මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, ලක්ඛන මහ රහතන් වහන්සේ හමුවූ දෙවියන් පිළිබඳ තොරතුරු ද හමුවේ. මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා, අනාථපිණ්ඩික දේව පුත්‍රයා, ජනවසභ දේව පුත්‍රයා මෙන්ම විශ්වකර්ම දේව පුත්‍රයාද මාර්ගඵල ලාභී දෙවිවරු වූහ. සතරවරම් දෙවිවරු බුදුරජුන් හමුවී ආටානාටිය සූත්‍ර දේශනාව සිදු කිරීමට ආරාධනා කළ ආකාරයෙන්ද දිව්‍ය ලෝකවල දෙවි දේවතාවන්ගේ ස්වභාවය, ආචාරශීලී බව, තැන්පත් ලීලාව, ශ්‍රද්ධාව පැහැදිලි වේ.

තවද බුදුරජාණන් වහන්සේ විසින් සමථ භාවනාවෙහි සම සතළිස් කර්මස්ථානයන් අතර අනුස්සති භාවනාවක් වශයෙන් දියුණු කළ යුතු වැඩිය යුතු ‘දේවාතානුස්සතිය’ දේශනා කර තිබේ. දේවාතානුස්සතිය වඩන අය සදෙව් ලොව උපදින අයුරු ද දක්වා තිබේ. ශ්‍රද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා ආදී සේඛබල ගුණධර්ම වර්ධනය කරන අය මරණින් මතු ඊට අනුරූපී දිව්‍ය නිකායන්හි උපත ලබන ආකාරය පෙන්වා දී තිබේ.

යමෙකු මෛත්‍රි භාවනාව වඩා දියුණු කරගත් මනසින්, එනම් මෛත්‍රී ධ්‍යාන සිතින්, මියයන ඔහුට බ්‍රහ්මකායික බඹලොව උපත ලද හැකි බවත් එහි පරමායුෂ කල්පයක් බවත්, එහිදී මෛත්‍රිය දියුණුකොට සිව්සස් අවබෝධ වීමෙන් එම බඹ ලොවදීම පිරිනිවන් පා හැකි බවත් දැක් වේ.

යමෙකු කරුණා භාවනාව දියුණුකොට කරුණා ධ්‍යාන සිතින් මිය ගියහොත් ඔහු ආභස්සර බඹලොව උපදින බවත්, එහි පරමායුෂ කල්ප දෙකක් බවත් එහිදී කරුණාව දියුණුකොට සිව්සස් අවබෝධවීමෙන් එම බඹ ලොවදීම පිරිනිවන් පානා බව දැක් වේ.

දඩල්ල, වාලුකාරාම වෙහෙරවැසි,
ශාස්ත්‍රපති, රත්ගම සුනීත හිමි
ඉතිරි කොටස ලබන සතියට…

advertistmentadvertistment
advertistmentadvertistment