කහටාන පන්සලකට කඩාවැදුණු අවිගත් යක්‍ෂයෝ දන් වළඳමින් සිටි හිමිනම ඝාතනය කරති

361

කේන්දර බලාගන්න මුවාවෙන් ඇවිත් හිමියන්ව හැම තැනම සොයලා
හාමුදුරුවන්ට ලැබුණු දුරකථන ඇමතුම් ගැනත් පරීක්‍ෂණ
ඝාතකයින් පලා ගිය මෝටර් රථය කඩුවෙලදී ඔවුන්ම ගිනි තබලා

මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයට ඊයේ (23 දා) පෙරවරුවේ කඩාවැදුණු සන්නද්ධ කණ්ඩායමක්, එහි වැඩ විසූ කලපළුවාවේ ධම්මරතන හිමියන්ට ටී 56 අවියකින් වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇත. මෙම ඝාතනය කුමන හේතුවක් නිසා සිදුවූයේ ද යන්න මෙතෙක් හෙළිවී නැත.

හඳහන් බැලීම, නැකැත් සැදීම ඇතුළු ජ්‍යොතිෂ වැඩවල නිරතවෙමින් සිටි මෙම හිමියන් ප්‍රදේශයේ කා අතරත් ප්‍රසිද්ධ හිමි නමක් බව පොලිසිය පවසයි.

45 හැවිරිදි ධම්මරතන හිමියන් වැලිවේරිය කිරිකිත්ත කෙසෙල්කන්ද, කුසුම්සෙවනාරාම විහාරස්ථානයේ ස්ථිරව වැඩවාසය කරන අතර කහටාන විහාරස්ථානය වෙත පැමිණ ඇත්තේ මීට මාස 3 කට පමණ උඩදීය.

ඊයේ පෙරවරු 11.30 ට පමණ දම් පැහැති හොන්ඩා ෆිට් වර්ගයේ මෝටර් රථයක පැමිණි සිව්දෙනෙක් හඳහනක් බැලීමට අවශ්‍ය බව කියමින් ධම්මරතන හිමියන් පිළිබඳව විමසා ඇත.

එම හිමියන්ගේ කාමරය වෙත ගොස් ඇති පිරිස එය ද පරීක්‍ෂා කර තිබේ. ඒ වන විට එම හිමියෝ දහවල් දානය වළඳමින් සිටියහ. එහිදී සන්නද්ධ පිරිස දාන ශාලාව වෙත ගොස් ධම්මරතන හිමියන් විහාරස්ථානය පිටුපස මිදුලට රැගෙන ගොස් ටී. 56 අවියෙන් වෙඩි තබා පලාගොස් ඇත.

සන්නද්ධ පිරිස අත ටී 56 අවියක් සහ පිස්තෝලයක් ද තිබූ බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ධම්මරතන හිමියන් රෝහල්ගත කිරීමට රැගෙන යද්දී අපවත් වී ඇත. විශේෂ පොලිස් කණ්ඩායම් 3 ක් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. ඝාතකයන් පලාගිය ප්‍රදේශවල සීසීටීවී පරීක්‍ෂා කිරීම ආරම්භ කළ අතර වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇත.

මේ අතර ඝාතනයට ලක්වූ ධම්මරතන හිමියන්ගේ ජංගම දුරකථනය වෙත ලැබී තිබූ ඇමතුම් කිහිපයක් සම්බන්ධයෙන් ද විමර්ශන පවත්වාගෙන යයි.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි එස්. කේ. උපාලි සහ පොලිස් අධිකාරි චින්තක යන නිලධාරීන්ගේ මෙහෙයවීමපිට මල්වතුහිරිපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගැමුණු විජේරත්න අපරාධ අංශයේ ස්ථානාධිපති ආනන්ද ඇතුළු නිලධාරීන් විමර්ශන පවත්වාගෙන යයි.
නෝමන් පලිහවඩන හේමන්ත රන්දුණු, බියගම – සුදත් පුබුදු කීර්ති, දෙල්ගොඩ – ඩබ්. ඩී. විතාන

advertistmentadvertistment
advertistmentadvertistment