ක්ලයිස්තිනස් ගේ ඇසින් ප්‍රජාතන්ත්‍රවාදය කියවීම නූතනයේ වලංගු ද?

193

ක්‍රිස්තු පූර්ව 507 දී ග්‍රීසියේ ක්ලයිස්තිනස් පළමු වරට ඩිමොක්‍රටියා (Demokratia) නම් සංකල්පය ලොවට හඳුන්වා දුන්නේය. ඩිමොක්‍රටියා යනුවෙන් අදහස් කරන්නේ ජනතාවගේ බලය යන්නයි. එය ජනතාව විසින් ජනතාව සඳහා ගෙන යන ජනතාවගේම පාලන ක්‍රමයක් වේ. නූතනයේදී එය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හඳුන්වයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම එහි මූලධර්මයට අනුව දෙවැදෑරුම්ය. එනම් ඍජු ප්‍රජාතන්ත්‍රවාදය සහ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලෙසය. මේ අතරින් අප රටේ ක්‍රියාත්මක වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයයි.

ක්ලයිස්තිනස් මියගොස් මේ වනවිට අවුරුදු තුන්දහසකටත් වඩා වැඩිය. එවන් පසුබිමක ක්ලයිස්තිනස් ඉදිරිපත් කළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය අප රටේ කෙතරම් දුරට ක්‍රියාත්මක වන්නේ ද යන්න සොයා බැලිය යුතුය. මක් නිසාද යත් අප නිදහස ලබාගැනීමෙන් පසු බලයට පත් සෑම ආණ්ඩුවක්ම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ලෙස ඉතිහාසයේ සටහන් කර ඇති නිසාය. කිසියම් රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේ ප්‍රමාණය නිරපේක්ෂව මැනිය හැක්කක් නොව සාපේක්ෂව මැනිය යුතු සංසිද්ධියක් බව පළමුව පිළිගතත යුතුය. පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වූ කලී හුදු කල්පිතයක් පමණි. එබඳු මනෝරාජ්‍යයක් පිළිබඳව සිහින මැවීව පවා අතිශය ප්‍රෝඩාකාරි අභව්‍ය සිතුවිල්ලකි. බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී ආසියානු රටවල් ආසියානු සංවර්ධන මිම්ම ලෙස සලකන්නේ සිංගප්පූරුවයි. දූෂණය සහ නාස්තිය අවම කර සංවර්ධනය අනිත් කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය අතරින් ප්‍රශස්ත මට්ටමකට පැමිණීමට සිංගප්පූරුවට හැකි වී ඇත. සිංගප්පූරු ජාතිකයකු ගේ ඒක පුද්ගල ආදායම කලාපයේ සෙසු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයවලට වඩා ඉහළින් පවතින බව අවිවාදිතය. විටෙක රටේ අයවැය පරතරය ඉහළ ධන අගයක පැවැති නිසා එහි වාසිය සෑම රටවැසියකුටම ලබාදුන් එකම ආසියානු කලාපීය රාජ්‍යය ද වන්නේ සිංගප්පූරුවයි. එසේ නම් සිංගප්පූරුව එබඳු කැපී පෙනෙන වර්ධනයක් වෙත ගමන් කළේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ද යන්න විමසා බැලිය යුතුය.

සිංගප්පූරුව ද සෙසු ආසියානු කලාපීය රටවල් බොහොමයක අනුගමනය කරන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සිය රාජ්‍යය පාලනයේ මූලික රාමුව ලෙස සලකයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව නියමිත අන්දමින් මැතිවරණ පවත්වා මහජන නියෝජිතයින් තෝරා පත් කර ගැනීමට ජනතාවට බලය ලබාදී ඇත. මෙසේ තෝරා පත් කර ගනු ලබන මහජන නියෝජිතයින් අතිශය පාරදෘශ්‍ය ආකාරයට කටයුතු කළ අතර කිසිදු ආකාරයේ දූෂණ චෝදනාවකට ලක් නොවීමට වග බලා ගත යුතුය. තවද තම තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශන ප්‍රසිද්ධ කළ යුතුය. නූතන සිංගප්පූරුවේ නිර්මාතෘවරයා වන ලී ක්වාන් යූ සිංගප්පූරුවේ සුක්කානම අතට ගත් වහාම දූෂණය සහ නාස්තිය අවම කිරීමට බලවත් ශක්තිමත් යාන්ත්‍රණයක් බලගැන්වූ අතර ඉතා කෙටි කලකින් දූෂණයට සහ නාස්තියට තිත තැබීමට සිංගප්පූරුව සමත් විය. මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදය සමග පෙරට එන මානව හිමිකම් හමුවේ ලී ක්වාන් යූ ඉදිරිපත් කළ මතවාදය සිත්ගන්නා

සුළුය. එය එක් අතකින් මානව හිමිකම් විශ්වීය යන න්‍යාය බලවත් ලෙස අභියෝගයට ලක් කරයි. මානව හිමිකම් වටිනාකම් පිළිබඳව වූ ලී ක්වාන් යූ ගේ දර්ශනයට අනුව මානව හිමිකම් පිළිබඳව ගෝලීය ඒකමතිකත්වයක් පැවැතිය නොහැකිය. එය අප්‍රිකානු වටිනාකම් ආසියානු වටිනාකම සහ යුරෝපීය වටිනාකම් ලෙස කලාප වශයෙන් විභේදනය කළ යුතුය. එම විභේදනයේ ද්විතීයික අවස්ථාවක් ද පවතී. ඒ අනුව කිසියම් රාජ්‍යයකට ද මානව හිමිකම් පිළිබඳව වටිනාකම් තිබිය හැකිය. එම ද්විතීයික විභේදනයටඅනුව සිංගප්පූරුවට ද අනන්‍ය වූ මානව හිමිකම් වටිනාකම් පවතී. ඒවා සිංගප්පූරු මානව හිමිකම් වටිනාකම්ය. ලී ක්වාන් යූ ට උක්ත පරාමිතියක් කරා යෑමට සිදු වූයේ මන්ද? මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ සංවර්ධනය යන්න එකමත අතිපිහිත කළ හැකි සංසිද්ධි දෙකක් නොවන නිසාය. මානව හිමිකම් පිළිබඳව සිංගප්පූරු වටිනාකම් සංකල්පය බිහි වන්නේ උක්ත සංදර්භය තුළය. එහිදී ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතැම් මූලික හරයන් අභියෝගයට ලක් වේ. උද්ඝෝෂණ වැඩ වර්ජන වැනි අයිතිවාසිකම් සම්බන්ධව කිසියම් පාලනයක් සිංග්පූරුවේ පවතින බව නොරහසකි. එහෙත් ක්ලයිස්තිනස් ඉදිරිපත් කළ ප්‍රජාත්නත්‍රවාදී මූලධර්මවලට අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව විසින් ජනතාව උදෙසා පවත්වාගෙන යනු ලබන ජනතාවගේ පාලන ක්‍රමයකි. එසේ නම් එය ජනතා හිතවාදී පාලනයක් විය යුතු අතර යහපාලන මූලධර්ම අනුගමනය කරන ජනතාවට වගකියන සහ ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කරනු ලබන රාජ්‍ය පාලන න්‍යායයක් විය යුතුය. පාලනය පිළිබඳව ජනතාව තුළ බලාපොරොත්තු දැල්විය හැකි විශ්වාසයක් ඇති කිරීමට කිසියම් රාජ්‍යයක් සමත් වන්නේ නම් එකී රාජ්‍යය ස්ථාවර රාජ්‍යයක් වන අතර සවිමත් ආර්ථිකයකට ද හිමිකම් කියයි. රාජ්‍ය පාලන ක්‍රමවේදය දූෂණය සහ නාස්තියෙන් වියුක්ත වන්නේ නම් ජනතාවට රජයට එරෙහිව නැඟී සිටීමට අවශ්‍ය නොවේ. අද සිංගප්පූරු ආර්ථික මොඩලය හරහා කියවෙන පණිවිඩය වන්නේ එයයි. කෙසේ වතුදු ඕනෑම රාජ්‍යයක තිරසාර පදනම දෙදරවීමට විවිධ බලවේග ක්‍රියාත්මක විය හැක. මෙම බලවේග මර්දනය කිරීම රාජ්‍යයේ යුතුකම හා වගකීම වන්නේය. රාජ්‍ය බුද්ධි අංශ ශක්තිමත් සිංගප්පූරුවේ එබඳු රාජ්‍යය විරෝධී බලවේග නිෂ්ක්‍රීය වී ඇත. අනෙක් අතට අතිශය විනිවිද පෙනෙන සුළු පාලන ක්‍රමවේදයක් පවත්වාගෙන යන සිංගප්පූරුවේ එවැනි රාජ්‍ය විරෝධී බලවේගවලට අවකාශයක් තිබිය නොහැක.

එහෙත් ශ්‍රී ලංකාවේ තත්ත්වය එයට හාත්පසින්ම වෙනස්ය. ශ්‍රී ලංකාව නිදහසින් පසු අවුරුදු හැත්තෑ පහක් තිස්සේ පාරිහානික රාජ්‍යයක් ලෙස ලැයිස්තුගතව ඇත. මෙම රාජ්‍යයේ දූෂණය සහ නාස්තිය පිළිබඳව විවිධ චෝදනා එල්ල වේ. තවද මෙම රාජ්‍යයේ බහුතර ජනතාවට රටේ පාලන ක්‍රමවේදය පිළිබඳව අවිශ්වාසයක් පවතී. මෙය අතිශය බරපතළ තත්ත්වයකි. මෙම අවිශ්වාසය නිසාම රටේ කවර නම් සංවර්ධන කාර්යයක් සම්බන්ධයෙන් වුව ද සැකයකින් සහ අවිශ්වාසයකින් බැලීමට ජනතාව පෙළඹී ඇත. මෙය රටක ප්‍රගමනය කෙරෙහි අතිශය අහිතකර බලපෑමකි. රාජ්‍යය කෙරෙහි ජනතාවගේ විශ්වාසය නොමැති විට ජනතාව සෑම කල්හිම රාජ්‍යය විරෝධී ආස්ථානයක් කරා ගමන් කරයි. රාජ්‍යයේ සතුරු බලවේගවල වර්ධනය සඳහා මෙය කදිම පෝෂකයක් ද වේ. අද ශ්‍රී ලංකාවේ දක්නට ඇති ඛේදජනක ඉරණම මෙයයි. එහෙත් මේ ඉරණම මෙරට ජනතාවට වෙනස් කළ නොහැකිද? දූෂණය සහ නාස්තිය වියුක්ත කිරීම සංකල්පීය වශයෙන් නොපිළිගන්නා අයෙකු මෙරට තුළ සිටිය නොහැක. එහෙත් සියලුම දෙනා එය සංකල්පීය වශයෙන් පිළිගත්තද බොහෝ දෙනෙකු එය භාවිතයේදී නොපිළිගන්නා බව නොරහසකි. දූෂණය සහ නාස්තිය වියුක්ත කිරීම ආරම්භ කළ යුත්තේ තමන් දෙඅත් විහිදෙන පරාසය තුළය. එක් එක් පුරවැසියා දූෂණය සහ නාස්තිය පිළිබඳව තම තමන්ගේ දායකත්වය නිසි පරිදි ලබා දෙන්නේ නම් සමස්ත රාජ්‍ය ක්‍රියාවලිය ද නාස්තිය සහ දූෂණය තොර වූ යාන්ත්‍රණයක් බවට පත් වේ. අනිත් අතට රාජ්‍යයේ සියලුම මූල්‍ය ක්‍රියාකාරකම් අතිශය පාරදෘශ්‍ය බව සහතික කළ යුතුය. සියලුම දේශපාලන ක්‍රියාධරයන් සිය වත්කම් සහ බැරකම් පිළිබඳ තොරතුරු ජනගත කළ යුතුය. එපමණක් ද නොව සියලුම දේශපාලන පක්ෂ ද ස්වකීය වත්කම් ප්‍රසිද්ධියට පත් කළ යුතුය. තවද එකී දේශපාලන පක්ෂවල මූල්‍ය ප්‍රභවයන් ද ප්‍රසිද්ධ කළ යුතුය.

රාජ්‍යයේ ක්‍රියාකාරකම් පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැඟීම ක්‍රමිකව කළ යුතු අතර ඒ පිළිබඳව ජනතා කතිකාවක් ද නිර්මාණය කළ යුතුය.

රාජ්‍යයේ ආර්ථික මොඩලය ලිබරල් හෝ නව ලිබරල් හෝ අන් කවරක් වුව එකී ආර්ථික මොඩලයේ අවසන් ඉලක්කය නිශ්චිත ආර්ථික වර්ධනයක් සඳහා වූ රාජ්‍යයක් බිහි කිරීම විය යුතුය.

එස්. එම්. ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment