ක්ෂීර සාගරය පවුලේ චිත්‍රපටයක්

554

කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න

කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණය වන ක්ෂීර සාගරය කැළඹිණ සිනමා නිර්මාණය එළැඹෙන මැයි මස 18 වැනිදා සිට රිද්ම මණ්ඩලයේ සිනමාහල්වල තිරගත කිරීම ආරම්භ කිරීමට නියමිතය. ක්ෂීර සාගරය එච්. ඩී. ප්‍රේමසිරිගේ නිෂ්පාදනයක් වන අතර මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමග ‘දිවයින සිනමා කලා’ සංග්‍රහය මේ කතාබහ එම සිනමා නිර්මාණය ගැනය.

● සම්මානිත මහාචාර්යය සුනිල් ආරියරත්නයන් දිගු නිහැඬියාවකට පසු චිත්‍රපටයක් තිරගත කරන්න හදනවා?

2012 වසරේ වැඩිම ආදායම් වාර්තාව තැබූ කුස පබා 2015 වසරේ වැඩිම ආදායම් වාර්තාව පත්තිනි, 2018 වසරේ වැඩිම ආදායම් වාර්තාව යශෝධරා, 2019 වසරේ වැඩිම ආදායම් වාර්තාව විජයබා කොල්ල ය. ඉතින් මම හිතනවා ඒක මම ලබපු ලොකු ජයග්‍රහණයක් කියලා. මම ඒවා නිර්මාණය කළේ වාණිජමය චිත්‍රපට හැටියට යි. ප්‍රේක්‍ෂකයන්ගේ බුද්ධියට නිඟා නොකර වාණිජමය චිත්‍රපට හැදීමේ පරමාර්ථය පෙරදැරි කරගෙන කුස පබා චිත්‍රපටයෙන් තමයි ඒ ගමන ආරම්භ කළේ. අවසාන වශයෙන් මම කරලා අවසන් කළේ විජයබා කොල්ල ය. ඉතිං මේ 2023 වනවිට වසර හතරක් තිස්සේ දීර්ඝ නිහැඬියාවක් ගත්තා.

ක්ෂීර සාගරය පවුලේ චිත්‍රපටයක්

හැබැයි මම ඒ නිහඬව හිටපු කාලයේ චිත්‍රපට නිර්මාණය කළා. කදිර දිව්‍යරාජ නමින් චිත්‍රපටයක් අවසන් කරලා රැඟුම් පාලක මණ්ඩලයට පෙන්නුවා. ක්‍ෂීර සාගරය කැළඹිණ චිත්‍රපටයත් රැඟුම් පාලක මණ්ඩලයට පෙන්නුවා. රටේ තිබුණ කොරෝනා ප්‍රශ්නය නිසා විශේෂයෙන් නිෂ්පාදකවරු මේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න අකමැති වුණා. මමත් ඒකට එකඟ වුණා. එච්. ඩී. ප්‍රේමසිරි මහත්මයා මාත් එක්ක නිෂ්පාදන කාර්යයට අතගසපු තුන්වැනි චිත්‍රපට ය. එතකොට මට පැහැදිලියි මේ වෙලාවේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන එක හොඳ නැහැ කියලා. නමුත් දැන් සිනමාවේ ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන ඉන්න වෙලාවක්. මේ වසර හතර තුළ සිනමා කර්මාන්තයේ බොහෝ වෙනස්කම් ඇති වුණා. විශේෂයෙන් කළම්බු සිටි සෙන්ටර්, පී. වී. ආර් වැනි සිනමා සංකීර්ණ ඇති වුණා. කැන්ඩි සිටි සෙන්ටර් සිනමා සංකීර්ණය. ලයිට් සිනමා ශාලා පෙළ මේ සිනමාහල්වල තිරගත වන සිනමා නිර්මාණවල ඉහළ ආදායමක් පෙන්නුවා. ඒ වගේම අලුතෙන් සිනමා මණ්ඩල පවා හැදුණා. යළි මේ ඇති වුණු පිබිදීමත් සමග තමයි මම අදහස් කළේ ක්ෂීර සාගරය චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට සූදානම් කරන්න.

● ක්‍ෂීර සාගරය කැළඹිණි චිත්‍රපටය තිරගත කරන්න සූදානම් වෙන්නේ කවදාද?

මැයි 18 වැනිදා සිට මහජන ප්‍රදර්ශනයට සූදානම්. පිටපත් 50කට ආසන්න සංඛ්‍යාවක් තමයි මුදාහරින්නේ. ඇත්තට ම එකම මණ්ඩලයකටවත් සිනමාශාලා විශාල සංඛ්‍යාවක් නැහැ. හැම මණ්ඩලයක්ම තවත් මණ්ඩලවලින් දර්ශන වාර කිහිපයක් අරගෙන තමයි ප්‍රදර්ශනය කරන්නේ. එහෙම බලනකොට හැම කෙනකුට ම සිනමාශාලා පනහක් විතර තිබෙනවා.

● සයිමන් නවගත්තේගමගේ නවකතාවක් සිනමාවට නඟන විට දැවැන්ත අභියෝගයන්ට මුහුණ දෙන්න සිදුවුණාද?

ඇත්තට ම මේකේ වගඋත්තරකාරයා ලෙඩ ඇඳේ සිටීම විශාල පාඩුවක්. ඇත්තටම නවගත්තේගමයන්ගේ නවකතාවලින් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු නොවුණ නවකතාවක් තමයි මම සිනමාවට නැඟුවේ. හැබැයි පුදුමයකට වගේ මම කැමැතිම වෙලා හිටපු නවකතාව තමයි ක්ෂීර සාගරය. මොන හේතුවක් නිසාද දන්නේ නැහැ, ක්ෂීර සාගරය නවකතාව කියවනකොට සිනමාරූප තමයි මැවිලා පෙනුනේ. ක්ෂීර සාගරය නවකතාව මගේ අතට හම්බවෙලා අවුරුදු 32කට පස්සේ තමයි මට මේ අදහස පහළවෙන්නේ.

● පිටපත ලියන්න ජැක්සන්ට භාරදෙනවා කියන අදහසේද හිටියේ?

කාස්ට් කරනකොටම මගේ ඔළුවට ආපු අනෙක් අභියෝගය තමයි කාට කියල ද මම මේ පිටපත ලියාගන්නේ කියලා. අභියෝගාත්මක කාර්යයක්. මම දන්නවානේ ජැක්සන් ඇන්තනිගේ දැනුම. ඒ නිසා මම හිතුවා පිටපත ලියන්න අනිවාර්යයෙන්ම ජැක්සන්ට දෙනවා කියලා. මම මේ පිටපත ජැක්සන්ට කියලා පස්වතාවක් විතර ලියෙව්වා.

● ඇයි ඒ?

සෑහීමකට පත්වුණේ නෑ. අනෙක් කාරණය නව කතාවෙත් අවසන් හරියේ පොඩි අවුලක් තියෙනවා. ඒ කතාව ආනන්දත් කිව්වා. එයා ධර්මසිරි බණ්ඩාරනායකට කියලත් අන්තිමට ලියෙව්වා කියලා කිව්වා. ඒ නිසා එහෙම අවුලක් තිබුණා. මේක සාකච්ඡා කළේ චන්න දේශප්‍රියයි, මායි ජැක්සන් ඇන්තනියි.

● අධිරාජ්‍යයාට ජැක්සන්වයි කැරලිකාරයාට හේමාලිවයි තේරාගත්තේ ඇයි?

එතැන ලොකු අභියෝගයක් තිබුණ. අනික ලංකා ඉතිහාසයේ අධිරාජ්‍යයෙක් නැහැ. ඊළඟට මේ චරිතවලට නම් නැහැ. අධිරාජ්‍යයා, කැරලිකාරයා, දැරිය කියන නම්වලින් තමයි සඳහන් කරන්නේ. චිත්‍රපටය කරන කොටත් නම් නැහැ. එතකොට අපිට තිබුණ ලොකුම අභියෝගය තමයි අපි කොතැන ද මේ චිත්‍රපටය පිහිටුවන්නේ කියලා. කල්පිතයක අධිරාජ්‍යයෙක් වගේ මිනිහෙක් ඉන්න ඕනෑ.

ඊළඟට අභියෝගය මම ලබාදුන්නේ වෙනුක වික්‍රමආරච්චි කියන වස්ත්‍රාභරණ නිර්මාණකරුටයි. ධම්මික හේවාදුවත්ත කියන කලා අධ්‍යක්‍ෂවරයාටයි. අනික මේ අධිරාජ්‍යයා කොපියක් වෙන්නත් බැහැ. එහෙම කෙනෙක් ඉඳලා නැහැ. රෝහණට කිව්වා රෝහණ මෙහි සංගීතය ඉන්දියානුත් නෙමෙයි, සිංහලත් නෙමෙයි ජනගීයක් නෙමෙයි. බටහිරත් නෙමෙයි එහෙම නොවන සංගීතයකට යන්න වෙනවා කියලා, මේ අභියෝග රාශියටම මේ පිරිස මුහුණ දුන්නා.

● රූගත කිරීම්වලට කොච්චර කාලයක් ගතවුණා ද?

රූගත කිරීම්වලට දවස් 45ක වගේ කාලයක් ගතවුණා. අතර මැදදි කොරෝනා උවදුරටත් ලක්වුණා. පළමුවැනි ෂෙඩුල් එක ඉවර කරනකොට රන්මිනිතැන්නේ දී කොරෝනා වසංගතයටත් හසු වුණා. අපේ සටන් නළුවකුට කොරෝනා හැදුණා. අපි රන්මිනිතැන්න ඇතුළේ දවස් 14ක් නිරෝධායනය වුණා. මම දෙවැනි ඉන්ජක්සන් එක ගහන්න එළියට ඇවිත් හිටියේ. ඒ අතරේ තමයි කොරෝනා හැදුණේ.

ජැක්සන්, හේමාල් ඇතුළු සියලු දෙනාටම නිරෝධායනය වෙන්නත් සිද්ධ වුණා. ඒ වැඩෙන් ජැක්සන්ලා ඇතුළු පිරිවර ම විඳෙව්වා. මම විතරයි බේරුණේ. ඊළඟ රූගත කිරීම් තිබුණේ දඹුල්ලේ. අන්තිමේ බබල් එකක් විදිහට හදලා නිරෝධායන නීතිය අනුව අවසර පත්‍රයක් ලබාදුන්නා රූගත කිරීම්වලට. අන්තිමේ අපේ සටන් නළුවාට සහභාගි වෙන්න බැරිවුණා.

තවත් තිබුණ අභියෝගයක් තමයි, මේ නවකතාව මෙයා ලියලා තිබෙන්නේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ රීතියකින්. මායා යථාර්ථවාදී රීතියකින් මැජික් රියල්සම්. දැන් මේක සිනමාවට ගේන්න එපායැ. එතකොට ඒ අභියෝගයත් භාරගත්තේ ජැක්සන්. අමාරු දෙයක්. ඊළඟට මොන ශානරයට ද මේක අයිතිවෙන්නේ. මේකේ ප්‍රේම කතාවක් ඇත්තෙන් නෑ. නැත්තෙත් නෑ. මම මේකට යොදලා තියෙන්නේ අධිරාජ්‍යයාට එරෙහිව අධිරාජ්‍යයා තමයි තේමා පාඨය. මම හිතන්නේ මේක දේශපාලන ශානරයට අයිතිවෙන චිත්‍රපටයක්. අභියෝග රැසයි. චිත්‍රපටයක් මුදාහරිනකම් අපිට කියන්න බැහැ මොකක්ද වෙන්නේ කියලා. ජනප්‍රිය වෙයිද, මිනිස්සු කැමැති වෙයිද? කියන්න දන්නේ නැහැ. නමුත් අපි සියලු දෙනා චිත්‍රපටය නරඹලා සතුටට පත් වුණා. නමුත් ජැක්සන්ට බලන්න හම්බවුණේ නෑ.

ක්ෂීර සාගරය පවුලේ චිත්‍රපටයක්

● ක්ෂීර සාගරයත් කුසපබා, පත්තිනි, යශෝධරා, විජයබා කොල්ලය වගේ නිර්මාණයක්ද?

ක්ෂීර සාගරයත් එබඳුම දැවැන්ත නිර්මාණයක්. එකම දේ රජවරු නෑ සිංහාසන නෑ. ඔටුනු නෑ, දොරටුපාලයෝ නෑ. මේක කල්පිත පසුබිමක තියෙන්නේ. මේක අර චිත්‍රපට හතරටම වඩා වෙනස්. අතිරේක නළු නිළියන් පන්සීයත් හත්සීයත් අතර ප්‍රමාණයක් රඟපෑවා.

● මහාචාර්යතුමා විවිධ කාලවලට විවිධ ශානරයන් සහ විවිධ ප්‍රේක්‍ෂකාගාරයන් ඉලක්ක කරනවා. මෙතැනදි මොනවගේ ප්‍රේක්‍ෂකාගාරයක්ද ඉලක්ක කළේ?

මේක අනිවාර්යයෙන්ම පවුලේ චිත්‍රපටයක්. මොකද මම වාණිජමය චිත්‍රපට කියලා කියන්නේ ඉස්සර තිබුණ වාණිජමය චිත්‍රපටවලට නෙමෙය.ි ඉස්සර ලෙනින් මොරායස්, යසපාලිත නානායක්කාර, සුනිල් සෝම පීරිස් ආදී වශයෙන් කරපු වාණිජ සිනමාවක් තිබෙනවා. ඒ වාණිජ සිනමාව නෙමෙයි මම හැදුවේ. මේක මගේ වාණිජ සිනමාව. මොකද මම දන්නවා චිත්‍රපට හදකොට වාණිජමය පරමාර්ථය ඇතිව චිත්‍රපට නිර්මාණය කරන්න.

මගේ වාණිජ සිනමාවේ දෙපැත්ත කැපෙන වචන නැහැ. විහිළුකාරයෝ නෑ. ලව් සීන් නෑ. දුෂ්ටයෙක් නෑ, මේවා නැතිව වාණිජ සිනමාවක් හදනවා කියන්නේම ලෙහෙසි වැඩක් නෙමෙයි. අනික් එක මේ චිත්‍රපට කොහොමටත් එකින් එකට එකක් වෙනස්. මම දැනට චිත්‍රපට විසි ගණනක් කරලා තිබෙනවා. මම කවදාවත් කරපු මාතෘකාවක් යළි සිනමාවට නඟන්න උත්සාහ කළේ නෑ. දැන් කුස පබා සාර්ථක වුණා කියලා මම නැවත ජාතක කතා කරන්න ගියේ නෑනේ. ඉතිං මම කැමැති නැහැ එකම තේමාවකින් තවත් චිත්‍රපටයක් නිර්මාණය කරන්න.

● මේ අභියෝග සියල්ල හමාර කර මහාචාර්යතුමා ක්ෂීර සාගරය තිරගත කරන්නයි සූදානම් වෙන්නේ?

මම හිතන්නේ මේ චිත්‍රපටයේ ප්‍රදර්ශන දිනය ළංවෙන්න ළංවෙන්න මට ජැක්සන් ගැන ඇතිවෙන විශාල කම්පාව දරාගන්න අමාරුයි. ඔහුත් මාත් මේ චිත්‍රපටයේම දවස් 45ක් තිස්සේ වගේම පසු නිෂ්පාදන කටයුතුවලට තවත් දවස් 45ක් විතර කාලයක් ගතවුණා. අපි බොහොම ලෙංගතුව හිටපු කාලයක්. ඉතිං මට පුදුම දුකක් තිබෙන්නේ. මෝඩ අඥාන මිනිස්සු ඔහුට තවමත් මඩ ගහනවා. මේ තරම් ඥාන සම්භාරයක් තියෙන කිසිම කෙනෙක් මේ ලංකාවේ නැහැ. රංගනය, ගායනය, රචනය, සම්ප්‍රේෂණ භූමිකාව වගේ මේ හැම දෙයක්ම තියෙන කිසිම කෙනෙක් ලංකාවේ නැහැ.

රවීන්ද්‍ර රන්දෙණිය වරෙක පැවසුවා ඔහු තමයි මහා නළුවා කියල. ඉතිං මේ මහා නළුවාට අල්පෙනිත්තක් අල්ලගෙන ඊර්ෂ්‍යාකාර මිනිස්සු මරණය ප්‍රාර්ථනා කරකර ඉන්නවා. මොන තරම් බලු වැඩක්ද? ඔය බණින මිනිස්සු තමයි හැම ආණ්ඩුවකින්ම සහන ගත්තේ.

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment