කියවීමට පෙරහුරුවක්

501

පොතකට පුළුවන් ජීවිතේ හදා දෙන්න
පොතකට පුළුවන් නිවරදි මඟ පෙන්වන්න
පොතකට පුළුවන් රිදුනු තැන් සනසන්න
පොතකට පුළුවන් ආදරය පතුරවන්න


ඔක්තෝබර් යනු කියවීමේ මාසයයි. ගෙවී ගිය සැප්තැම්බරය හෙවත් සාහිත ලෝලීන්ගේ පොත් මංගල්‍යය මෙවර සුවිශේෂී වූයේ පසුගිය වසර කිහිපය කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එහි අසිරිය රිසි සේ භුක්ති විඳින්නට නොහැකි වූ නිසාය. පොත් ගුල්ලන්ට සැප්තැම්බරය යනු රස ගුලාවකි. පොතට සිතැත්තෝ ඊට සූදානම් වූයේ බක්මහ අසිරියට සූදානම් වන ආකාරයටය. ඒ පොත් ගුල්ලන්ගේ හැටිය. කියවීමට ඇබ්බැහිවූවන්ට, පොතපතට ආදරය කරන්නන්ට, පොතපතින් ජීවිතය දකින්නන්ට එය තවත් එක් අසිරිමත් සැණකෙලියකි. අද සමාජයට එවැන්නෝ තව තවත් අවශ්‍ය කර තිබේ. මන්ද අපෙන් ගිලිහී යන ගුණධර්ම, සාරධර්ම අලුත් කරන්නටත්, වැටි වැටී නැඟිටින්නන්ට අත දෙන්නටත්, අමනාපකම් පසෙකලා හිතවත්කම් ඇති කරන්නටත්, ආදරණීය ලෙංගතුකම් මිනිස් හදවත් තුළ ජනිත කරන්නටත්, සහජීවනයේ දෑත් එක් කරන්නටත් පොතකට ඇත්තේ පුදුමාකාර බලයකි. එය දන්නේ අතළොස්සක් පමණක් වීම ද කනගාටුවට කරුණකි.

පොත් කියවන්නෝ මෙන්ම පොත් ලියන්නෝද සුවිශේෂී වේ. පොත් ලියන්නා පොත් කියවන්නකු බිහි කරන අතර පොත් කියවන්නා තවත් පොත් කියවන්නකු පොළඹවනු ඇත. ඇතමෙකුට පොත් කියවීම මී පැණි සේ රසවත් වුවද තවකෙකුට පොත් කියවීම වහකදුරු සේය. එදා මාර්ටින් වික්‍රමසිංහයන්ට පොත් කියවීම වහකදුරු වූවානම් අද සිංහල සාහිත්‍යයට හෙළයේ මහා ගත්කතුවරයකු දැකිය නොහැක. කුමාරතුංගයන් බිහිනොවන්නට හත්පණ, මඟුල් කෑම ලියවී නොමැත. හැරී පෝටර් ආසාවෙන් කියන්නට ජේ. කේ. රෝලින්ග් නොමැත. අම්මා දකින්නට ගෝර්කි බිහි නොවනු ඇත. ටෙට්සුකෝ කුරොයානගී නොහිටින්න හරි පුදුම ඉස්කෝලේ ටොංටො චාං තවම ඉපදී නොමැත.

දන්නා නොදන්නා බොහෝ මිනිසුන් සැරිසරන සමාජ ජාලා මාධ්‍ය තුළ ඔවුන් පොතපත කියවීම, පොත්පත් මිලදී ගැනීමට සූදානම් වීම, ඔවුන් කියවපු පොත පත පිළිබඳ අදහස් දැක්වීම ආදිය සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් දෙස බැලීමේදී තවමත් පොතපත කියවන පරපුරක් සිටීම සතුටට කරුණකි. ඇතමුන්ට පොතපත කියවීම කුඩා කල සිටම ආ පුරුද්දකි. තවත් කෙනකුට තම පවුලේ මව පියාගේ ආදර්ශයෙන් ආ පුරුද්දකි. සමහරකුට පොත් කියවන්නෙකුගෙන් ආ පෙළඹවීමකි. පොත් ලියන්නන් ඔබව වෙනම ලෝකයකට කැඳවාගෙන යන අතර පොත් කියවන ඔබ පොත් ලියන්නන්ට තව තවත් ලියන්නට උත්තේජනයක් ලබා දෙයි. ඉතිං පොත් කියවීමට යොමුවීම සුන්දරම ක්‍රියාවලියකි. රෝගී මනසට විරේකයකි. මනස සුවපත්වීමට චිකිත්සාවකි.

අද සමාජයේ තරුණ පරපුර වෙනස් මාර්ගයන්හි ගමන් කරනු දැකිය හැක. දවසේ වැඩි වේලාවක් සමාජජාලා මාධ්‍ය, ටික්ටොක් වැනි නිස්සාරණ කාර්යයන්හි ගත කරයි. ඒ අතර අතළොස්සක් පොත් ගුල්ලන්ද නැතුවා නොවේ. ආදරණීය දුවේ පුතේ පොත් කියවීම යනු අලුත් ලෝකයක් දකින්නට මඟ විවරවීමකි. නැතහොත් සිදු වනුයේ අතරමඟ හිරවීමකි. ඔබට බොහෝ දේ හිතන්නට, ලෝකය ජයගන්නට, දැනුම වර්ධනයට පොත් කියවිය යුතුමය. පතපොතින් ලබා ගන්නා දැනුම හා අත්දැකීම් වෙනත් කිසිවකින් ලබාගත නොහැක. විවිධ පොතපත කියවීම තුළින් ඔබට විවිධ දේ දැන හඳුනාගත හැකිය. වරෙක ඔබ සිනාගන්වන්නටත්, තවත් විටෙක ඔබේ ඇස් කඳුළින් තෙමන්නටත්, විටෙක ඔබව ශක්තිමත්ව නැඟිටින්නටත්, තවත් විටෙක ඔබ දැහැන්ගත කරන්නටත් සමත් වෙනත් කිසිදු මාධ්‍යයක් නොමැත. එය කළ හැක්කේ පොතකට පමණි. අලුත් පොතක පිටු අතරේ එන නැවුම් ආත්මීය සුවඳ ඔබේ ජීවිතයට අමුතුම මිහිරියාවක් ගෙන දෙනු ඇත.

පොත් කියවන්නාගේ මානසික මට්ටම හා පතපොතින් දුරස් අයකුගේ මානසික මට්ටම දෙආකාරයකින් ක්‍රියා කරයි. පොතපත සමීපව ඇසුරු කරන්නාට හොඳ ආත්ම ශක්තියක් ලැබේ. දරා ගැනීමේ ශක්තිය වර්ධනය වේ. තැනට සුදුසු සෘජු තීරණ ගනී. සහජීවනය අගය කරයි, දයාව, කරුණාව පතුරවයි, සහකම්පනය ඇතිව ජීවත් වේ. නමුත් පොත් වෙනුවට නිකන් කියවන්නාට ඇත්තේ හිස් මනසක් පමණි.

ඔබ පොතක් මිලදී ගැනීමට කිසිවිටෙක නොපැකිලිමත් වෙන්න. එය කිසි දිනක මුදල් නාස්තියක් ලෙස නොසලකන්න. පොතක් යනු අමිල වස්තුවක් බවත් එය වටිනා ආයෝජනයක් බවත් ඔබට යම් දිනෙක වැටහෙනු ඇත. ඉන් ඔබ ආයෝජනය කරන්නේ දැනුමයි. පොතින් පොත එකතු කර හදාගත් දැනුම් භාණ්ඩාගාරයක් ඔබේ වත්කම වේ. මිනිසුන් පොහොසත් විය යුත්තේ භෞතික දේවල්වලින් පමණක් නොවේ. ධනය අද තිබී හෙට විනාශ විය හැක. නමුත් උපයාගත් දැනුම සුළි කුණාටුවලටද හසු නොවී තබාගත හැකි නිධානයකි.

ඉතිං ඔබත් හැකිවිටක එක පොතක් හෝ මිලදී ගන්න. ඔයා ඔයාටම කියල පොත් සංචිතයක් ගොඩනඟා ගන්න. දවසට පිටු කිහිපයක් අතරේවත් සැරිසරන්න. අලුත් දේ සොයන්න. මතක අලුත් කර ගන්න. මොනව හරි ඔයත් ලියන්න. තවත් එක්කෙනෙක් හෝ පොතක් කියවන්න පොළඹවන්න. හැකි සෑම විටම ඔයාගේ එකතුව අලුත් කර ගන්න. කාලයක් යනකොට ඔබටත් පොත් ගුලක හිමිකරුවෙක් විය හැකියි. පොත් ප්‍රදර්ශනයකට, පොත් සාප්පුවකට ඉඳහිට යන්න. ඔබ වැඩිහිටියකු නම් ඔබේ දරුවාද රැගෙන යන්න. ඒ පොත් අතර පොඩි කාලයක් ගත කරන්න. සමහරවිට ඔයාට ඔයාවම ඒ අතර මුණ ගැහේවි. ඔයාට හොඳ යාළුවෙක් ඒ අතර හමුවේවි. හොඳ ගුරුවරයෙක් ඒ පොත් තුළ ඉඳීවි. එයාල එක්ක කතා කරන්න. අවශ්‍යයම මොහොතක එයාල ඔයාගේ උදව්වට පැමිණේවි. පොතක් යනු ආශ්චර්යමත් දෙයක් කියල කියන්නෙම ඒ නිසයි. සමහර ඇබ්බැහිවීම් තියෙනව ඒව ගැළපෙන්නෙ නෑ. ජීවිතේ විනාශ කරනව. නමුත් පොත් කියවීම කියන්නෙම සුන්දර ඇබ්බැහිවීමක්. අත්නොහැර ඔබත් ඒකට පුරුදු වෙන්න.

සකුන්තලා සෙනෙවිරත්න
ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති
රුහුණ විශ්වවිද්‍යාලය.
සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment