උකුලේ සිටි දරුවා අයියා බලන්න කියා නැගිට්ටා – බසයේ සිටි පුතාගේ ඔළුව ලොරියේ වැදුණා

932

* දරුවාට පිං පිණිස රියැදුරන්ට සමාව දෙනවා – වන්දියක් ඉල්ලන්නේත් නෑ – මව කියයි

කිරිගල මාරක අනතුර

බස් හා ලොරි රියැදුරෝ අත්අඩංගුවට


මගේ උකුලේ වාඩිවී සිටි දරුවා පසුපස ආසනයේ සිටි අයියා බැලීමට ඕනෑ යැයි කියා නැගිට්ටා. එවිටම බසය ඇදී ගොස් ලොරියේ වැදුණා. පුතාගේ ඔළුව ලොරියේ වැදී පොඩිවී ලේ ගලමින් තිබුණා. මම වහාම පුතාව මාවනැල්ල රෝහලට ගෙන යන විටත් මියගොස් තිබුණා” යැයි කිරිගලදී වූ රිය අනතුරෙන් මියගිය ළදරුවාගේ මව වන ධම්මිකා ඉන්දුමති මහත්මිය කීවාය.

පසුගිය 21 වැනිදා බස් රථයකින් ගමන් කරමින් සිටි අවුරුදු තුනහමාරක් වයසැති දරුවකුගේ මරණය සම්බන්ධයෙන් දරුවාගේ මව පොලිසියට කරන ලද ප්‍රකාශකයක මේ බව සඳහන් වෙයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ උස්සාපිටිය, තඹවිට පදිංචිව සිටි වයස අවුරුදු තුනහමාරක් වයසැති සචින්ත පැතුම් කුමාර නම් ළදරුවකි.

මියගිය දරුවගේ මව තවදුරටත් පැවසුවේ තම වැඩිමහල් දරුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බවත් ඒ සඳහා බාරයක් වීමට රඹුක්කන, කඩිගමුව ප්‍රදේශයේ දේවාලයට ගොස් ආපසු නිවෙස් බලා පැමිණීම සඳහා මාවනැල්ල දෙසට ධාවනය වූ බස් රථයට ගොඩ වූ බවත්ය. එසේ ධාවනය වූ බස් රථය මාවනැල්ලට ආසන්න කිරිගල නම් ස්ථානයේදී ලොරියක ගැටුණු බවත් එම අවස්ථාවේ දී බසය වම් පැත්තට ඇදී ගොස් උකුලේ නැගිට සිටි දරුවාගේ හිස ජනේලයෙන් පිටතට ගොස් ලොරියේ වැදී ඇති බවත් ඇය පැවසුවාය.

මෙම අනතුරට සම්බන්ධ රියැදුරන්ට සමාව දෙන බවත් එය දරුවාට පින් පිණිස වන බවත් කිසිම වන්දියක් නොඉල්ලන බවත් ඇය පැවසුවාය.

මෙම අනතුර ගැන පොලිසිය සඳහන් කළේ නවතා තිබූ ලොරි රථයක බස් රථයේ ඉදිරි කණ්ණාඩිය ගැටීමෙන් පසු බස් රථයේ රියැදුරු රථය වම් පසට ගැනීමේදී නැවතත් බසය ලොරියේ ගැටීමේදී බස් රථයේ හදිසි දොරටුව අසල ආසනයේ ගමන් කරමින් සිටි දරුවා හිස එළියට දැමීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවය.

අපරික්ෂාකාරීව රිය පැදවීමෙන් මාරාන්තික අනතුරක් සිදු කිරීම සම්බන්ධව රියැදුරන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන මාවනැල්ල වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මත මුදාහැර ඇත.

මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් රත්නායක, පොලිස් සැරයන්වරුන් වන (30451) ජයලත්, (45305) විමල්සේන යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

කෑගල්ල – එම්. බී. පහලවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment