කුස්තූරවලට සිමෙන්ති යොදන නිසා ජේතවන සලපතලමළුවේ පුරාවස්තු අවදානමේ – උඩස්ගිරියේ සමිත හිමි

327

අනුරාධපුර ජේතවන දාගැබේ සලපතල මළුවේ ඇතුරා ඇති ගල් පුවරු අතර කුස්තූරවල සිමෙන්ති යොදා වසා දැමීම හේතුවෙන් වටිනා පුරාවස්තු විනාශ වීමේ අවදානම පවතින බව පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත ස්වාමීන් වහන්සේ පැවසූහ. උන්වහන්සේ මේ බව පැවසූවේ බටලීය පුරාවස්තු සුරැකීමේ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ. ක්‍රි. පූ. 3 වැනි ශත වර්ෂයේ සිට අනුරාධපුර යුගයේ අවසානය දක්වාද, පොළොන්නරු රාජ්‍ය සමයේදී ජේතවන දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙලා තිබෙනවා. මේ කාලවකවානුවලට අයත් සෙල් ලිපි, පුවරු ලිපි, ගල්පුවරුවල කුඩා කුස්තූර ඇතුළත පුරාණ කාසි වැනි දේ තිබෙන්න පුළුවන්. ජේතවන දාගැබේ සලපතල මළුව කියලා කියන්නේ පුරා විද්‍යාත්මක උරුමයන් තැන්පත් වෙලා තිබෙන ඉතා වටිනා තැනක්. මේ වගේ හිතුවක්කාර විදිහට ඉදිකිරීම් කළහොත් සිද්ධවන්නේ පෞරණික පුරාවස්තු ජාතියට අහිමිවීම පමණයි.

ඒ වගේම සිමෙන්තිවල තිබෙන රසායනිකත්වයෙන් සෙල්ලිපි සහිත පුවරුවලට, ගල්පුවරුවලට හානිවෙන්න පුළුවන්. මේ විදියට සංවර්ධන කටයුතු කරනවා නම් මේවා කළ යුත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්‍ෂණය සහ මඟපෙන්වීමෙන්. පළපුරුදක් ඇති ශිල්පීන් ලවා මේ සංවර්ධන කටයුතු සිදු කළ යුතුයි.

සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment