ගල්ගමුව සමූප බලයත් ජවිපෙට

163

ගල්ගමුව විවිධ සේවා සමුපකාරයේ ඡන්ද විමසීම දෙසැම්බර් 23 දින ගල්ගමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාන 26කදී පැවැත්විය. මේ සඳහා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂවල සාමාජිකයෝ අපේක්ෂකයන් ලෙස ඡන්දයට ඉදිරිපත් වූහ. බලය හිමිකරගෙන සිටි පොදුජන පෙරමුණ අභිබවමින් ගල්ගමුව සමුපකාර ඉතිහාසයේ ප්‍රථම වරට මෙවර ජනතා විමුක්ති පෙරමුණ විසින් ගල්ගමුව සමුපකාර සමිතියේ ප්‍රාදේශික 26 න් 16 ක් ජයගෙන තම බලය තහවුරු කරගෙන තිබේ. ගල්ගමුව සමුපකාර සමිතිය සඳහා මහ සභා නියෝජිතයන් 100 දෙනකු තොරා ගනු ලබන අතර ඉන් 57 කගේ බහුතර බලය හිමි කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සමත් වී තිබේ.

ජයග්‍රහණයෙන් අනතුරුව ඔවුන් ගල්ගමුව බස්නැවතුම්පළ ඉදිරිපිටදී රතිඤ්ඥා දල්වමින් ජය සැමරූ අතර එහිදී ජවිපේ ගල්ගමුව ආසන සංවිධායක විජේරත්න බණ්ඩාර මහතා මෙලෙස අදහස් දැක්වීය.

අපිට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණේ පොහොට්ටුවේ, එජාපයේ, සජබේ අපේ අදරණීය අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් අපිත් සමග අත්වැල් බැඳගත්ත හින්ද, මම මුලින්ම පක්ෂය වෙනුවෙන් ඔවුන්ට ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා අපි ගැන තිබ්බ විශ්වාසයට. ඒ වගේම කියන්න ඕන වත්මන් පරිපාලනය විසින් හොරකමෙන්, වංචාවෙන්, අතවරයට ලක් කරලා විනාශ කරලා කබාසිනියා කරලා දාලා තියෙන

ගල්ගමුව විවිධ සේවා සමූපකාරය අපි ඉතාම කෙටි කාලයක් තුළදී සාමාජිකයන් ඇතුළු ප්‍රදේශයේ ජනතාවට සැබෑ ප්‍රතිලාභයක් ලබා දෙන ආයතනයක් විදියට පරිවර්ථනය කරනවා කියලා පොරොන්දු වෙනවා. මේ නිකම්ම නිකං ජයග්‍රහණයක් නෙමෙයි. පළාත් පාලන ආයතන, පළාත් සභා, පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ ඡන්දවල ජවිපේ ප්‍රමුඛ ජාතික ජන බලවේලයේ ජයග්‍රහණය සනාථ කරන පෙර නිමිත්තක්.
කුමා රණසිංහ – ගල්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment