කෙටි කාලයකට අගමැති සහ ඇමැති මණ්ඩලය අපට දෙන්න – අනුර කුමාර දිසානායක

783

දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති රට ගොඩනැගීම සඳහා ආණ්ඩුව භාර ගැනීමට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සූදානම් යැයි එහි නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

ඒ සඳහා කෙටි කාලයකට අගමැති ධුරයත්, කැබිනට් මණ්ඩලයත් පත්කර ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බව ද හෙතෙම කීවේය. එසේ වුවහොත් ඉතාම කෙටි කාලයක් තුළ ඉන්ධන ගෑස් විදුලිය අධ්‍යාපනය අත්‍යවශ්‍ය ආහාර, කෘෂිකර්මාන්තය ඇතුළු රටේ මූලික ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බවත් ඒ මහතා පැවසීය.

පාලකයන් නිසි කලට තීන්දු තීරණ ගත්තේ නම් රට මෙතරම් අගාධයකට නොයන බව කී අනුර කුමාර මහතා, අර්බුදයෙන් ගොඩ ඒමට පාලකයන්ට සැලසුමක් නොතිබූ බවට චෝදනා කළේය. විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් නොයවන්නේ පාලකයන් එය හොරා කන නිසා බව පැවසූ ඒ මහතා විනිවිද පාලනයක් තුළ රට ගොඩ නගන්නේ නම් විදෙස්ගත ශ්‍රමිකයන් රට ගොඩනගන්න සූදානම් යැයිද කීවේය.

ජනතාවගේ දුක නොහඳුන අර්බුදයෙන් රට ගොඩ ගැනීමට නොහැකි පාලනය පලවා හැරීම සඳහා දෙවන රැල්ල ජාතික ජන බලවේගය ආරම්භ කර ඇති බවත් එය පළමු රැල්ලටත් එහා ගිය ජන සුනාමියක් ලෙස වර්ධනය කරන බවට සහතික කරන බවත් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (02 වැනිදා) එසේ පැවසුවේ අම්බලන්තොට නගරයේ පැවති ‘ආණ්ඩුව පන්නමු, පාරට බහිමු’ උද්ඝෝෂණ පෙළපාලිය අවසානයේ පැවති ජන රැලිය අමතමිනි.

සිරිමන්ත රත්නසේකර සහ මත්තල දිලිප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment