මේක වෙනම ආර්ට් එකක් – ප්‍රසන්න දැකුම්පිටිය

92

මම ඩිලා තරම් කට්ටක් කාලා නැහැ

මේ දිනවල සිරස ටීවී නාලිකාව තුළින් විකාශනය වන සර්කස්කාරයෝ ටෙලි නාට්‍යයේ “ඩිලා” ගේ චරිතයට පණ පොවමින් ඔබ හමුවට එන තරුණ, දක්ෂ රංගන ශිල්පියෙක් තමයි ප්‍රසන්න දැකුම්පිටිය කියන්නේ. ප්‍රසන්න මේ දිනවල පණ පොවන අභියෝගාත්මක චරිතය ගැන “මීවිතට” මෙසේ ඔහුගේ හඬ අවදි කළා.

සර්කස්කාරයෝ ටෙලි නාට්‍යයේ ඩිලාගේ චරිතය ගැන කතා කළොත්?

මම කලින් රංගනයේ යෙදිලා තිබුණත් මේ චරිතය මට ඇත්තටම අභියෝගයක් වුණා. ඩිලා කියන මේ චරිතයට මට කතා කළේ සද්ධා අයියා. සද්ධා අයියා ඒ චරිතය ගැන කිව්වම මම ගොඩක් කැමැති වුණා. මේ චරිතය සමහරක් තැන් මම මුහුණ දුන් අත්දැකීම් තියෙනවා, මේ ආපු ගමනේදී. ඒකත් එක්ක මම මේ චරිතයට ගොඩක් ආස කළා. සද්ධා අයියා, ශිවා අයියා කියන්නේ මේ ක්ෂේත්‍රයට හොඳ නිර්මාණ ගෙනාපු දෙන්නෙක්. ඉතිං ඒකත් එක්කම මම මේ අභියෝගය භාරගත්තා.

මේක වෙනම ආර්ට් එකක් - ප්‍රසන්න දැකුම්පිටිය

සද්ධා අයියා මේ චරිතය ගැන මොකද කියන්නේ?

සද්ධා අයියා හරි සතුටුයි චරිතය ගැන. අපිට තියන කාලෙත් එක්ක ඒවා කළමනාකරණය කරගෙන මේ වැඩේ කරගෙන යනවා. එයා දන්නවා කොහොමද වැඩේ යන්නේ කියලා. ඉතින් එයා සතුටුයි මේ චරිතය ගැන.

සිවගුරුනාදන් කියන්නේ, වසරේ ජනප්‍රිය ටෙලි නාට්‍ය, නළුවෝ බිහිකරපු අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ යටතේ වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ඒ අත්දැකීම මට මාර වැදගත් වුණා. මොකක් හරි මූඩ් එකක් ඇතුළේ අපි කරනකොට එයාට ෆීල් වුණේ නැති වුණොත් එයා ඒක කියනවා. මම හරි කැමතියි ශිවා අයියා එක්ක එකට වැඩ කරන්න ලැබීම ගැන. ඇත්තටම එයාගෙන් ලැබෙන අත්දැකීම් එක්ක වැඩකරන්න ලැබීමම මට ලොකු භාග්‍යයක්.

ඩිලා කියන චරිතය වටා තමයි ගොඩක් දේවල් නිර්මාණය වෙන්නේ ?

ඔව්. මම විශ්වාස කරන්නේ ඒක තිර පිටපත් රචකයාගේ වැඩක්. ඩිලා, සහශ්‍රා, භූතයා, නිරෝ ඒ චරිත ඇතුළත් වෙන්නේ ඩිලාගේ වටා. ඩිලාට සහයෝගය දෙන චරිත විදිහට ඉතා දැවැන්ත රංගන ශිල්පීන් රාශියක් මගේ වටා ඉන්නවා. ඒ හැමෝගෙන්ම හොඳ සහයෝගයක් ලැබෙනවා.

අධ්‍යක්ෂවරයාට ගහලා නළුවෝ වෙන්න පුළුවන්ද?

මෙහෙමයි, අපේ මේ ඉන්ඩස්ටි්‍ර එක ඇතුලේ ඔය වගේ දේවල් දැකලා තියෙනවා. ඒවා නැත්තේම නැහැ. 10%ක් විතර ඉන්නවා, මේක මුවාවෙන්නේ ඔය වගේ මාෆියා වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඔය අතරේ හරියට වැඩ කරන අයත් ඉන්නවා. ඉතින් ඒ කළු පැත්ත තමයි මම හිතන්නෙ සද්ධා අයියා මේ නාට්‍ය තුළින් පෙන්නලා තියෙන්නේ.

ප්‍රසන්න දැකුම්පිටිය කියන්නෙත් ලොකු කට්ටක් කාලා මෙතැනට ආපු නළුවෙක්ද?

මෙහෙමයි, මම ඩිලා තරම්ම කට්ටක් කාලා නැහැ. මම චරිත වලට ආසයි, නිර්මාණවලට ආසයි, විෂයට ආදරෙයි. නමුත් සමහර තැන් විතරයි ඩිලාගේ චරිතෙන් මගේ ජීවිතේට බලපාන්නේ. ඩිලා ලොකු ජීවන අරගලයක ඉන්න කෙනෙක්. නමුත් ප්‍රසන්න දැකුම්පිටිය එන්නේ වෙනම පැත්තකින්.

මේ වෙනකොට ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. රට රටවල්වල ඉන්න යාළුවෝ, නෑදෑයෝ සහ දන්නේ නැති ගොඩක් අයත් කතා කරලා සුබපතනවා. දිගටම කරගෙන යන්න කියලා බොහෝ අය ආශිර්වාද කරනවා.

සර්කස්කාරයෝ රූගත කිරීම් කරද්දී අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති?

අපි රූගත කිරීම් කරන්නේ මාලිගාවත්තේ, ඇපල්වත්තේ, ඛෙත්තාරාම ග්‍රවුන්ඩ් එක ඉස්සරහා ප්‍රදේශයේ. ඒ ප්‍රදේශවාසීන් සියලු දෙනා හරිම ආදරෙයි අපිට. පුදුමාකාර ආදරයක් තියෙන්නේ. ඒක ලොකු හයියක් අපිට. ඒක තමයි ඇත්තටම අමතක වෙන්නේ නැත්තේ. ඒ මිනිස්සුන්ගේ තියෙන ආදරේ කවදාවත් අමතක වෙන්නේ නැහැ.

පසුගිය දිනවල “එයා දැන් බැදලා” ටෙලි නාට්‍යයේ “කුරුල්ලාගේ” චරිතයෙන් නේද ඔබ කතාබහට ලක්වුණේ?

ඔව්. කුරුල්ලාගේ චරිතය හරහා තමයි සද්ධා අයියා මාව දැකලා තිබුණේ. මේක දීර්ඝ නාට්‍යයක් නිසා මම ටිකක් කරගෙන යද්දී කරන්න බැරි වෙයිද කියලා බයකුත් තියෙනවා. නමුත් ඉස්සරහට සද්ධා අයියා එක්ක කතා කරලා ලස්සනට කරන්න බලාපොරොත්තු වෙනවා. මේක වෙනම ආර්ට් ටිකක්. ඒ වගේම එයා දැන් බැඳලා නාට්‍ය තුළින් ලැබුණු පන්නරයත් ලොකු අත්දැකීමක් වුණා මට මේ ගමනට.

ඔබ මහේන්ද්‍ර පෙරේරාගේ ගෝලයෙක්ද?

ඔව්. මහේන්ද්‍ර සර්ගෙයි මගෙයි බැඳීම ගැන කතා කළොත් මහේන්ද්‍ර සර් මාව ගොඩක් විශ්වාස කළා. ඒ විශ්වාසයට තමයි මම සර්ට ගරු කරන්නේ. සර් එක්ක මම දිගටම වැඩ කරනවා. මම තිරයෙන් පිටුපස හිටපු කෙනෙක්. මහේන්ද්‍ර සර්ව මම දකින්නේ, මම මේ විෂය සොයාගෙන යද්දී මුණගැහැණු ගුරුවරයෙක් විදියට. ඇත්තටම කිව්වොත් ගුරුවරයෙක්ටත් එහා ගියපු ගෞරවයක් තමයි මගේ හිතේ මහේන්ද්‍ර සර් ගැන තියෙන්නේ.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment