කොමර්ෂල් බැංකුවෙන් එසෙක්ස් විශ්වවිද්‍යාල උපාධි වැඩසටහන් සඳහා රු.මි.10ක් දක්වා ණය

69

එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය උපාධි හෝ ශාස්ත්‍රපති උපාධි සඳහා බඳවා ගන්නා වූ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ (OUSL) අපේක්‍ෂකයින් සඳහා, රුපියල් මිලියන 10ක් දක්වා උසස් අධ්‍යාපන ණය දැන් කොමර්ෂල් බැංකුවෙන් ලබාගත හැකිය.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, බැංකුව සමග අත්සන් කළ ගිවිසුමකට අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි. මේ මගින් එසෙක්ස් විශ්වවිද්‍යාලයේ දෙවන හා තෙවන වසරවල උපාධි අපේක්‍ෂකයන්ට ඔවුන්ගේ අඛණ්ඩ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑම සඳහා, සුවිශේෂී ලෙස සහනදායී පොලී අනුපාතයක් යටතේ අධ්‍යාපන ණය පහසුකම් ලබාගත හැකිය.

මෙම ණය පහසුකම් සඳහා විශේෂ පොලී අනුපාතයක් සහ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාලයට ගැලපෙන සහන කාලයක්ද හිමිවන බැව් කොමර්ෂල් බැංකුව පවසයි.

කොමර්ෂල් බැංකුව සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් අත්සන් කරන ලද මෙම අවබෝධතා ගිවිසුම යටතේ, OUSL විසින් පිරිනමනු ලබන උපාධි වැඩසටහන් අනුගමනය කිරීමට කැමති සිසුන් සඳහා ද බැංකුව විසින් විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණ ඩිලක්ෂාන් හෙට්ටිආරච්චි මහතා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය පී. එම්. සී. තිලකරත්න මහතා හා ලේඛකාධිකාරී වින්ද්‍යා ජයසේන මහත්මිය මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ වෙනත් ඕනෑම ජාතික විශ්වවිද්‍යාලයකට සමාන නෛතික, ආයතනික සහ අධ්‍යයන තත්ත්වයන් භුක්ති විඳින ජාතික විශ්වවිද්‍යාල 17න් එකකි. OUSL විසින් පිරිනමනු ලබන සියලුම උපාධි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) විෂය පථය යටතේ වෙනත් ඕනෑම විශ්වවිද්‍යාලයකින් පිරිනමන උපාධිවලට සමාන ලෙස සලකනු ලැබේ. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, අධ්‍යාපන අමාත්‍යංශයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඍජු විෂය යටතේ පවතියි.

advertistmentadvertistment
advertistmentadvertistment