කොළඹ වරාය ඩිජිටල් කෙරේ

157

කොළඹ වරායේ වෙළෙඳ භාණ්ඩ නිෂ්කාශන කටයුතුවලදී සිදුවන ප්‍රමාදයන් වැළැක්වීමේ අරමුණින් වරාය මෙහෙයුම් කටයුතු ඩිජිටල් කිරීමට අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබේ.

මේ වනවිට නිෂ්කාශන කටයුතු විශාල ලෙස ප්‍රමාද වන බවට තහවුරු වී ඇතැයි ද එනිසා මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි ද වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

ලොව දියුණු වරායන් 50ක පමණ මෙම ඩිජිටල් සන්නිවේදන පද්ධති ක්‍රියාත්මක වන බවත්, එම වරායන්හි කාර්යක්‍ෂමතාවය ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් එම වරායන් සමග කොළඹ වරාය තරගකාරීව මෙහෙයුම් කටයුතු සිදුකිරීමට මෙම ඩිජිටල් සන්නිවේදන පද්ධතියක් අත්‍යවශ්‍ය බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ඩිජිටල් සන්නිවේදන පද්ධතිය තුළට ශ්‍රී ලංකා වරාය අධිකාරිය, රේගු දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඇතුළු වෙළෙඳ නාවික ක්‍ෂේත්‍රයට සම්බන්ධ සියලු ආයතන ඇතුළත් වන බැවින්, වෙළෙඳ නාවික මෙහෙයුම් කටයුතු සහ භාණ්ඩ නිෂ්කාශන කටයුතුවලදී ඉතා කාර්යක්‍ෂම සේවාවක් ලබාදීමට හැකි වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය සඳහා දල වශයෙන් ඇ. ඩොලර් මිලියන 35 ක් පමණ වැය වන බවත්, මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාරයක් ලබාදීමට කැමැත්ත පළ කර ඇති බවත් වරාය ඩිජිටල් සන්නිවේදන පද්ධතිය මගින් මෙහෙයුම් කටයුතු මෙම වසර අවසාන වීමට පෙර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බවත් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී කීවේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ සහ වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද මෙම ව්‍යාපෘතියේ උපදේශන ආයතනයේ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment