කෝටිපතිනියකගේ නිවෙසකින් වැලිකඩ පොලීසියට ගෙන ආ මෙහෙකාරියගේ මරණයට වැඩ බැලූ OIC රිමාන්ඩ්

533

ඇය හිංසනයට ලක්වෙලා – සීඅයිඩිය උසාවියට කියයි

කෝටිපති කතගෙන් ප්‍රකාශ ගෙනඇත්තෙත් ඇය මළ පසුවයි

මහමඟ වැටී සිටි අයකු ලෙස පෙන්වා පොලිසිය ඇය රෝහල්ගත කරලා

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී මියගිය 42 හැවිරිදි එස්. රාජේෂ්කුමාරි නමැති ගෘහ සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සිද්ධිය වූ දින වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස වැඩ බැලීමට කටයුතු කර තිබූ උප පොලිස් පරීක්‍ෂකවරයා ලබන 11 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (29දා) පස්වරුවේ නියෝග කළේය.

වැලිකඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්‍ෂක අජිත් කුමාර මහතා එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

එම සැකකරුට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා සනාථ කළ හැකි සාක්‍ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

සැකකාර නිලධාරියා එම සැකකාරිය අත්අඩංගුවට ගැනීමේ සිට රෝහල්ගත කිරීම දක්වා වූ කාලය තුළදී භාරකාරත්වය දරා ඇති බවත් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රෝගාතුර වූ ඇයව මහමග වැටී සිටි අයකු ලෙස පෙන්වා රෝහල්ගත කර ඇත්තේ ද ඔහුගේ උපදෙස් මත බවත් විමර්ශනවල අධීක්‍ෂණ නිලධාරියා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

එම සැකකාර නිලධාරියා භාරයේ සිටියදී මරණකාරිය හිංසනයට ලක්වී ඇති බවත් ඒ බව සැකකරු දැනුවත්ව සිටි බවත් ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව පැහැදිලි වන්නේ යැයි ද අධිකරණයට පැවසූ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා මහතා එම අපරාධයට සම්බන්ධ තවත් පොලිස් නිලධාරීන් තිදෙනකු පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් පවතින බවත් ඉදිරිපත් වන සාක්‍ෂි අනුව ඔවුන්ව ද තරාතිරම නොබලා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් අධිකරණයට පැවසීය.

සැකකාරිය මිය යෑමෙන් අනතුරුව එම සැකකාර නිලධාරියාගේ උපදෙස් මත මරණකාරිය සේවය කළ නිවසේ හිමිකාරියගෙන් පැමිණිල්ල සටහන් කර ඇති බවද සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණයට පැවසීය.

සිය සේවාදායකයා තවත් වසරකින් පොලිස් සේවයෙන් විශ්‍රාම යෑමට සිටින අයකු වන බවත් ඔහු මරණකාරියට පොලිසිය තුළදී හෝ පිටතදී යම්කිසි හිංසනයක් සිදුවී ඇති බවට දැනුවත්ව නොසිටි බවත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජිත කොඩිතුවක්කු මහතා පෙන්වා දුන්නේය.

තමා ද එම නිලධාරියාව දන්නා හඳුනන බවත් තමා මෙම අධිකරණයේ සේවයට පැමිණීමෙන් පසුව වසර 1 1/2කට ආසන්න කාලයක් වැලිකඩ පොලිසිය වෙනුවෙන් ඔහු නඩු මෙහෙයුම් සිදුකළ බවත් අතිරේක මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මාධව ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක, හේමන්ත රන්දුණු,

advertistmentadvertistment
advertistmentadvertistment