ගහෙන් වැටුණු ආසාදිතයාට ජීවිතය දුන් මහනුවර රෝහලේ විශ්මිත සැත්කම

282

ගසකින් ඇද වැටී සුෂුම්නාවට බරපතළ හානි සිදුව තිබූ කොවිඞ් ආසාදිත හැට හැවිරිදි පුද්ගලයකුගේ ශරීරයේ ඔක්සිජන් ප‍්‍රතිශතය පහළ බැස සිහි නැති කිරීමට නොහැකි මට්ටමේ දැඩි අවදානමක් තිබියදී සාර්ථකව අදාළ පුද්ගලයාට සැත්කමක් සිදු කිරීමට මහනුවර ජාතික රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනන්ද උඩගෙදර මහතා ඇතුළු කණ්ඩායමක් සමත්ව තිබේ.
 
 පැය තුනක පමණ කාලයක් ගතව තිබෙන මෙම සැත්කමට විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු හයදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සම්බන්ධ වී ඇත.
 
 සාමාන්‍ය තත්ත්වයේ පසුවන රෝගියකුට සුෂුම්නාවේ සැත්කමක් කිරීම එතරම් විශේෂ කාරණයක් නොවන නමුත් මෙම රෝගියාට ‘කොවිඞ්’ ආසාදනය වී තිබීමත් සමග ඔහුගේ ශරීරයේ ඔක්සිජන් ප‍්‍රමාණය සියයට අසූවක් පමණ දක්වා පහත බැස තිබියදී නිර්වින්දනය කර සැත්කම සිදු කිරීම අති විශේෂ කාරණයක් බව විශේෂඥ වෛද්‍ය සුනන්ද උඩගෙදර මහතා කීවේය.
 
 ඉණිමගක ආධාරයෙන් කොස් ගෙඩියක් කැඞීමට ගොස් ඉන් ඇද වැටී සුෂුම්නාවට බරපතළ හානි සිදුව කෑගල්ල රෝහලට ඇතුළත් කළ හැට හැවිරිදි පුද්ගලයකු මෙම සැත්කමට ලක්ව තිබේ.
 
 අදාළ පුද්ගලයා මහනුවර ජාතික රෝහලට මාරු කර එවන විට ඔහුගේ පාද අප‍්‍රාණික තත්ත්වයට පත්වෙමින් තිබූ බවත් මේ නිසා සැත්කමක් සිදු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වූ බවත් ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනන්ද උඩගෙදර මහතා කීය.
 
 මෙම දිනවල කොවිඞ් අවදානම තිබෙන බැවින් සැත්කමකට භාජනය කිරීමට ප‍්‍රථම සෑම රෝගියකුම ප‍්‍රථමයෙන් ‘ඇන්ටිජන්’ පරීක්ෂණයකටත් එහි ප‍්‍රතිඵල අනුව කොවිඞ් ආසාදිත බව තහවුරු වුවහොත් පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කරන බවත් කී උඩගෙදර මහතා අදාළ රෝගියාට ‘කොවිඞ්’ ආසාදනය වී තිබෙන බව පරීක්ෂණ දෙකෙන්ම තහවුරු වූ බව ද ප‍්‍රකාශ කළේය.
 
 එවැනි මට්ටමකට ශරීරයේ ඔක්සිජන් ප‍්‍රමාණය අඩුව තිබිය දී සාමාන්‍යයෙන් මේ ආකාර සැත්කමක් සිදු නොකරන බව ද හෙතෙම අවධාරණය කළේය.
 
 පසුගිය 07 වැනිදා සැත්කමට භාජනය කරන ලද මෙම පුද්ගලයා මේ වන දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ තත්ත්වය මේ වන විට සාමාන්‍ය අතට පත්වෙමින් තිබෙන බවත් උඩගෙදර මහතා පැවසුවේය.

advertistmentadvertistment
advertistmentadvertistment