ගොන් බාන – (එකෙක් හිරේ-එකෙක් අංගොඩ)

1442

මේ වනවිට බෝසතාණන්වහන්සේ ලෙස පෙනී සිටින දෙදෙනෙක් ලංකාවේ රිමාන්ඩ් කූඩුවල සිටිති. ඉන් එකෙක් තමන් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ලෙස හඳුන්වා ගනිමින් දේශන පවත්වන්නට යෑමේදී පොලිසිය විසින් කුදලාගෙන ගොස් කූඩුකරනු ලැබීය. ඒ ඩයල් එක අමුතුම පොරකි. ඔහු සිය නව යොවුන් දියණිය අපහරණය කර එය හෙළිවූ කල්හි ගෙදරින් පැන ගිය මේ අවලමා එසේ පැන යෑම හඳුන්වනු ලබන්නේ අභිනිෂ්ක්‍රමණය ලෙසය. ඔහු එම සිද්ධියේදී හරියාකර පිරිසකට හසුවූයේ නම් ජීවිතයෙන්ම අභිනිෂ්ක්‍රමණය කිරීමට කටයුතු යෙදෙනවා ඇත. මේ කියන අවලෝකිතේශ්වරගේ ඇත්ත නම මහින්ද කොඩිතුවක්කු ය. කතාකරන pattern එක අනුව මොහු දකුණු පළාතේ කෙනෙකි. හැබැයි ඔහුගේ කතා විලාසිතාව දකුණු පළාතේ ආදී මානවයාගේ කතා විලාසය හා සමාන බව උපකල්පනය කළ හැක. පොලිස් අත්අඩංගුවට පත් ව්‍යාජ අවලෝකිතේශ්වරයන් දැනට අංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව දැනගන්නට තිබේ.

නූතන බෝධිසත්ව කේස් එකේදී අපට හමුවන දෙවැන්නා වන්නේ විමල බුද්ධි මුණි නමැති තරුණයෙකි. විශ්ව බුද්ධ යන නමින් පෙනී සිටින ඔහු පන්සලක වැඩ වාසය නොකරයි. මොහු සිටින්නේ ගෙදරකය. ඒ ගෙදර විටෙක ඔහුගේ පෙම්වතියත් සිටී. විශ්ව බුද්ධ සමහර දවස්වලට සිවුර පැත්තකට දමා කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් ඇඳගෙන සිය පෙම්වතිය සමග shopping යයි. ඔහු කියන පරිදි දහ පාරකට වඩා ඔහු සිවුරු හැර තිබේ. මීට සති කිහිපයකට පෙර සිය සුරතල් බල්ලාට සිවුරක් පොරවා ඒ පින්තූරය ටික් ටොක් එකේ දැමීමෙන් පසු විශ්ව බුද්ධ අත්අඩංගුවට පත්විය. ඊළඟට උසාවියට ඉදිරිපත් කරන ලද හෙතෙම ඇප පිට නිදහස් කරන ලදී. මෙතන පොඩි පරස්පරයක් තිබේ. දළදා වහන්සේට අපහාස වන අන්දමින් ප්‍රකාශයක් කළ යූ ටියුබ් දාර්ශනික සේපාල අමරසිංහට මාස ගණනක් රිමාන්ඩ් එකේ තපින්නට සිදුවිය. මේ දවස්වල රිමාන්ඩ් එක සිරකරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති නිසා විශ්ව බුද්ධට ඇප ලැබෙන්නට ඇති. ඔහුට ඇප දෙන්නේ බුදු දහමට නිගා නොකිරීමේ දැඩි ඇප කොන්දේසි මතය. ඇප ලැබීමෙන් පසු යූ ටියුබ්කාරයන් දෙතුන් දෙනකු විසින් විශ්ව බුද්ධි වටකරගන්නා ලදී. එම යූ ටියුබ්කාරයෝ ස්වකීය වැඩසටහන් මගින් විශ්ව බුද්ධිට මාර මසාජ් එකක් දුන්හ. එහි ප්‍රතිපලයක් වශයෙන් විශ්ව බුද්ධිට ඇප කොන්දේසි අමතක වූ අතර ඔහු නැවත වරක් සිය වාචාල කට විවෘත කළේය. එයින් පැය 24 ට පසු පොලිසිය විසින් නැවත වතාවක් මොහු රිමාන්ඩ් කරන ලදී. මෙහිදී යූ ටියුබ් වලට අපි දොස් නොකියමු. අනෙක් සියලු මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යයේ පරමාර්ථය වන්නේද හොඳම news එක හොයා එය ප්‍රචාරය කර පුළුවන් තරම් ජනප්‍රිය වීමය. ඒ වෙලාවේදී අවලෝකිතේශ්වර සහ විශ්ව බුද්ධි යන බයිට් දෙක ඔවුන්ට හසු විය. ඔවුහු ඉන් උපරිම ප්‍රයෝජන ගත්හ. තමන් කතා කරන්නේ කුමක්ද යන්න පිළිබඳ පෙරකී ගොන් බානට හැඟීමක් නොතිබිණ. අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීද විශ්ව බුද්ධ සිටියේ කලගෙඩිහේනේ සිය නිවසේදී කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් ඇඳගෙනය. බෝධිසත්වයන් වහන්සේ නොව කදිම ගොන් වහන්සේලා වන මේ ගොන් බානට සුදුසුම තැන නිරය වුවද දැනට ඔවුන්ට ලැබී ඇත්තේ රිමාන්ඩ් හිර ගෙදරය.

මේ මොහොතේදී මහායාන බුදු දහම සහ හීනයාන බුදුදහම අතර සටනක් මේ රටේ හටගෙන තිබේ. ථෙරවාදයට අයත් පිරිසිදු හීනයාන බුදුදහම පවතින එකම රට ලංකාවය. අනෙක් හැම බෞද්ධ රටක්ම මහායානා බුද්ධාගමේ ඒකාධිකාරය යටතට පත්ව ඇත. මහායාන බුද්ධාගමේ ප්‍රධානාචාර්යවරයා වන නාගර්ජුන ස්වාමිපාදයන් (ක්‍රිස්තු වර්ෂ 150 – ක්‍රිස්තු වර්ෂ 250) දේශනා කළ පරිදි බුදුන් වහන්සේ විසින් ආමන්ත්‍රණය කරන ලද්දේ ජනතාවගේ ප්‍රඥාවටය. ප්‍රඥා පාරමිතා සූත්‍රය හෙවත් Diamond සූත්‍ර නමැති මහායාන සූත්‍රය මගින් නාගර්ජුන ස්වාමිපාදයෝ මේ බව පැහැදිලි කර ඇත. මෙයට කලකට පෙර මේ රටේ බුදු දහම තුළද මහායාන ශාඛාවක් තිබිණ. එම ශාඛාවේ මූලාස්ථානය වූයේ අභයගිරි විහාරයයි. අවසානයේදී මහායාන දහමෙහි ඇති මෙරට සංස්කෘතියට නොගැළපෙන තැන් නිසා එය අපේ ආගමික සමාජය තුළ ක්ෂය වී ගියේය. දැනට අංගොඩ සිටින අවලෝකිතේශ්වරත් රිමාන්ඩ් එකේ සිටින විශ්ව බුද්ධත් මහායානික අවතාර දෙකක් බව පෙනේ. මීළඟ කතුවැකියකින් මේ ගැන තවත් විස්තර ගෙන එමු.

advertistmentadvertistment
advertistmentadvertistment