අමතර බරක් ජනතාව මත

ලෝක බැංකුවෙන් ගෑස් ගන්න දුන්න කෝටි 113 අමතර බරක්

ගෑස් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවයක් නැහැ.

ඉන්දියානු ණය යෝජනාක්‍රමය යටතේ ගෑස් මිලදී ගැනීම සඳහා ලිට්‍රෝගෑස් සමාගම වෙත ලබාදීමට එකඟ වූ ඇමරිකානු ඩොලර් මිලියන 120ක මුදල භාවිත කොට නැහැ.

වැට් බද්ද පැනවීමත් සමග ගෑස් මිල නැවත වතාවක් විදුලි වේගයෙන් ඉහළගොස් තිබේ. ආර්ථික අර්බුදයෙන් හෙම්බත්වී සිටින ජනතාවට ගෑස් මිල ද විශාල මුදලකින් වැඩිවීම ගහෙන් වැටුනු මිනිසාට ගොනා ඇන්නා වාගේය. ගෑස් පමණක් නොව සෑම භාණ්ඩයකම මිල රට්ටුන්ට දරාගැනීමට නොහැකි තරමින් ඉහළගොස් ඇත. ගෑස් මිල වැඩිවීම තේ කෝප්පයේ සිට බත් පැකැට්ටු, කොත්තු රොටිය දක්වා කෑම වර්ග වල මිල ඉහළ යෑමට හේතුවී තිබේ. අපේ රටේ නිවාස හිමියන් මිලියන 4.5ක් පමණ ගෑස් පරිභෝජනය කරති. මිට අමතරව හෝටල්, රෝහල් සහ කර්මාන්තශාලා සඳහා ද ගෑස් යම් ප්‍රමාණයක් අවශ්‍ය වන අතර මෙරට දිනපතා පරිභෝජනය සඳහා ගෑස් මෙට්‍රික්ටොන් 1200ක් පමණ අවශ්‍ය වේ. වාර්ෂිකව මෙරටට ගෑස් මෙට්‍රික්ටොන් 473,000ක් අවශ්‍යවන අතර ඉන් ගෘහස්ථ සඳහා අවශ්‍යතාව සියයට 84කි.

පසුගිය කාලයේ ඉන්ධන හා ගෑස් නෞකා එනතෙක් රට්ටුන් මගබලාගෙන සිටියහ. ඒ කාලයේ දි ගෑස් මිලදී ගැනීම සඳහා පෝලිම්වල ලැගීමට මෙරට ජනතාවට සිදුවිය. කොටින්ම කිවහොත් පසුගිය කාලයේ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීම සඳහා දැඩි අරගලක නිරතවීමට රට්ටුන්ට සිදුවූහ. මෙරට ජනතාවට ගෑස් සැපයීමේ ප්‍රධාන සැපයුම්කරුවා වන්නේ ලිට්‍රෝ ගෑස් සමාගමයි. එහෙත් පසුගිය කාලයේදී ඩොලර් නොමැතිවීම නිසා ලිට්‍රෝ සමාගමට ගෑස් ආනයනය කිරීමට නොහැකිවිය. මේ නිසා රට තුළ ගෑස් හිඟයක් නිර්මාණය විය. ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල සිටි ජනතාව ගහමරා ගත්හ. නොයෙකුත් ගැටුම් ඇතිවිය. ඒ වනවිට රට තුළ පැවතියේ උග්‍ර ආර්ථික අර්බුදයකි. එවන් පසුබිමක් තුළ රජයට ලෝක බැංකු අරමුදල මගින් වෙන්කරනු ලැබූ මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 70ක මුදලක් ගෑස් ආනයනය කිරීම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම වෙත ලබාදෙනු ලැබීය. ගෑස් සමාගම විසින් ලෝක බැංකු ණය ආධාර මුදල යොදාගෙන 2022 වර්ෂයේ ජුනි මස සිට මාස හතරක කාලයක් සඳහා ගෑස් මෙට්‍රික්ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කටයුතු කරනු ලැබීය. ගෑස් සමාගම විසින් ගෑස් මෙට්‍රික්ටොන් 01ක් මිලදී ගෙන තිබුණේ ඩොලර් මිලියන 129ක මුදලකටය. අඩු මිලකට ගෑස් සැපයීම සඳහා සමාගමක් ඉදිරිපත්ව තිබියදී වැඩිමිලකට වෙනත් සමාගමකින් ගෑස් මිලදී ගෙන ඇති බවට ඒ කාලයේ ලිට්‍රෝ ගෑස් සමාගමට චෝදනාවක්ද එල්ලවිය. මේ පිළිබඳ කෝප් කමිටුවේද කථාබහට ලක්විය. එවන් පසුබිමක් තුළ කෝපා කමිටුවේ නිර්දේශය මත ජාතික විගණන කාර්යාලය මගින් මේ පිළිබඳ විශේෂ විගණනයක් සිදුකරනු ලැබීය.

වැඩිමිලට ගෑස් මිලදී ගැනීම නිසා රජයට දැරීමට සිදුවූ අමතර පිරිවැය මෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳ ගැටලු රැසක් විගණනය මගින් අනාවරණය කොට තිබුණි. මෙතැන් මෙම ලිපිය දිගහැරෙන්නේ එකී විශේෂ විගණන වාර්තාවේ තොරතුරු පදනම් කරගෙනය.

ලිට්‍රෝ ලංකා ගෑස් සමාගම විසින් (2020/2022) වර්ෂ සඳහා එල්. පී. ගෑස් සැපයීමට අදාළ පිරිනමනු ලැබූ ප්‍රසම්පාදන ගිවිසුමේ කාලසීමාව 2022 වර්ෂයේ පෙබරවාරි මස 28 වැනිදින අවසන්වීමට නියමිතව තිබුණි. ඒ අනුව (2022 2023) වර්ෂ සඳහා ගෑස් සැපයීම සඳහා නව සැපයුම්කරුවකු තෝරාගෙන ප්‍රසම්පාදනය පිරිනැමීම 2022 මාර්තු මස 01 වැනි දිනට පෙර සිදුකළ යුතුව තිබුණි. එහෙත් මෙකී ප්‍රසම්පාදන කටයුත්ත විවිධ හේතුන්මත ප්‍රමාද වී තිබුණි. කෙසේවුවද ලිට්‍රෝගෑස් සමාගම විසින් 2022 ජනවාරි මස 09 වැනිදින ආරම්භ කරනු ලැබූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත සියාම් ගෑස් ට්‍රේඩින් සමාගම 2022-2023 යන වර්ෂ සඳහා සැපයුම්කරු ලෙස තෝරාගෙන තිබුණි. එහෙත් මෙකී තෝරාගැනීමට විරෝධය පළකරමින් මීට පෙර ගෑස් සැපයීමේ සැපයුම්කරු ලෙස කටයුතු කළ ඕමාන් ට්‍රේඩින් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් සමාගම ඒ සඳහා අභියානයක් ඉදිරිපත් කොට තිබුණි. එහෙත් අභියාචනා කිමිටුව විසින්ද ගෑස් සැපයීම සඳහා අවම මිල ඉදිරිපත් කොට තිබූ සියාම් ගෑස් ට්‍රේඩින් සමාගම සඳහා ගෑස් සැපයීම සඳහා නිර්දේශකොට තිබුණි.

ගෑස් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දි ලංසු කැඳවීමේ පොරොත්තු ණයවර ලිපියක් ලබාදෙන බවට ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ලංසු ලේඛනවල සඳහන් කොට තිබුණි. එහෙත් එවකට රටේ පැවති ආර්ථික තත්ත්වය මත එකඟ වූ පරිදි පොරොත්තු ණයවර ලිපියක් සැපයීමට නොහැකි බව ලිට්‍රෝ සමාගම විසින් සියාම් ගෑස් සමාගම වෙත දන්වා තිබුණි. සියාම් සමාගම විසින් ඉල්ලූ අදාළ ණයවර ලිපිය ලබාදීමට ලිට්‍රෝ ගෑස් සමාගමට නොහැකි බව ප්‍රධාන හේතුවක් කරගනිමින් නව ප්‍රසම්පාදනයක් ආරම්භ කිරීමට ලිට්‍රෝ සමාගම විසින් තීන්දුකොට තිබුණි. ප්‍රසම්පාදනයේදී ලිඛිතව එකඟ වූ කාරණාවක් සම්බන්ධයෙන් සැපයුම්කරුගේ කොන්දෙසිය ඉටුකිරීමට ලිට්‍රෝගෑස් සමාගමට නොහැකි වී තිබුණි. කෙසේවුවද 2022 ජුනි මස 13 වැන ිදින අමාත්‍ය මණ්ඩලය විසින් ගෑස් මිලදී ගැනීම සඳහා නව ප්‍රසම්පාදනයක් ආරම්භ කිරීමට අනුමැතිය ලබාදෙනු ලැබීය.

ඒ අනුව අඩුමිලට ගෑස් සැපයීම සඳහා තෝරාගනු ලැබූ සියාම් සමාගමේ ටෙන්ඩරය අවලංගු කිරීමට කටයුතු කරනු ලැබීය. මේ නිසා 2022 වර්ෂයේ පෙබරවාරි මස 28 දිනෙන් පසුව ගෑස් මිලදී ගැනීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගමට නොහැකි වී තිබුණි. මෙවන් පසුබිමක් තුළ එවකට සිටි අගමැතිවරයා විසින් ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් 2022 ජුනි මස 08 වැනිදින අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කොට තිබුණි. ගෑස් මෙට්‍රික්ටොන් ලක්ෂයක් මිලදී ගැනීමේ දි සහතික කළ පොරොත්තු ණය වර ලිපියක් හෝ ඇමරිකානු ඩොලර් 20ක පෙරගෙවුම් කොන්දේසි මත ගෙවීම් සකස් විය යුතු බවට ඕමාන් ට්‍රේඩින් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් සමාගම විසින් දන්වා තිබුණි. එහෙත් මේ සඳහා අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලීමේ දී මෙකී සමාගම විසින් ගෙවිම් සම්බන්ධයෙන් කොන්දේසි ඉදිරිපත්කර ඇති බවත් දක්වා නොතිබුණි. ඒ විතරක් නොව බැංකු ඇපකරයක් නොමැතිව ගෙවීම් කිරීම ලිට්‍රෝ සමාගමේ පවත්නා ක්‍රමවේදය ලෙස සඳහන් කරමින් බැංකු ඇපකරයක් නොමැතිව භාණ්ඩ සඳහා ගෙවීම් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ඉල්ලා තිබුණි. එහෙත් බැංකු ඇපකරයක් නොමැතිව ගෙවීමේ ක්‍රමවේදයක් සමාගම විසින් අනුගමනය කරන බව නිරීක්ෂණය නොවූ බව විගණනය මගින් අනාවරණය කොට ඇත. අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් එලෙස කරුණු දැක්වීමද ප්‍රශ්නකාරී බව විගණනය මගින් හඳුනාගෙන තිබුණි.

ඕමාන් ගෑස් සමාගමට වැඩි මිලකට ටෙන්ඩරය ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩලයද නොමග යැව්වාද යන්න පිළිබඳ ප්‍රශ්නය මෙකී විගනණන වාර්තාව නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේය.

ලිට්‍රෝ ලංකා ගෑස් සමාගම විසින් (2022/2023) වර්ෂ සඳහා අඩුමිලට ගෑස් සැපයීම සඳහා ප්‍රසම්පාදනය මගින් තෝරාගෙන තිබූ සියාම් ගෑස් ට්‍රේඩින් සමාගමේ ටෙන්ඩරය අවලංගු කර තිබුණි. එම මිලට වඩා ඉහළ මිලකට ඕමාන් ට්‍රේඩින් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් සමාගමෙන් ගෑස් මිලදී ගනු ලැබීය. මෙම තත්ත්වය නිසා පවත්නා ආර්ථික අර්බුදය හමුවේ ඇමරිකානු ඩොලර් 3,145,960කට සමාන රුපියල් එකසිය දහතුන්කෝටි අසූඅටලක්ෂ තිස්හත්දහස් හාරසියතිහක (1,138,837,430) අමතර වැය බරක් රජයට දැරීමට සිදුවි තිබිණි. මේ කාලයේදී රටේ ජනතාව හාමතේ සිටිමින් තම බඩවියත රැකගැනීම සඳහා දැඩි අරගලයක නිරතව සිටියහ. රජය ඒ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටියහ. රට බංකොලොත් තත්ත්වයකට පත්ව තිබුණි. එහෙත් ලිට්‍රෝ සමාගම විසින් ලෝක බැංකු ණය මුදල් යොදාගනිමින්ද වැඩිමිලට ගෑස් මිලදී ගැනීමට කටයුතු කර තිබුණි. මේ නිසා ගෑස් පාරිභෝගිකයන්ට වැඩි මිලට ගෑස් මිලදී ගැනීමට සිදුවූ අතර ඔවුන්ට කිසිදු සහනයක් නොලැබුණි.

ගෑස් මෙට්‍රික්ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 96ක මුදලකට සැපයීමට ප්‍රසම්පාදනය මගින් තෝරාගෙන තිබූ සමාගමේ ප්‍රසම්පාදනය අවලංගු කර ගෑස් මෙට්‍රික්ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 129 හා 118.83 වැනි ඉහළ මිලකට වෙනත් සමාගමකින් මිලදී ගැනීම හේතුවෙන් මෙකී අමතර වැයබර රජයට දැරීමට සිදුවී තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ලෝක බැංකු අරමුදල මගින් වෙන්කරනු ලැබූ මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 70ක් රජය විසින් ලිට්‍රෝ ගෑස් සමාගම සඳහා ලබා දී තිබුණි. එම මුදල් යොදවා ලිට්‍රෝ සමාගම විසින් වැඩිමිලට ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිලදී ගෙන තිබුණි. 2022 වර්ෂයේ ජුනි සිට දෙසැම්බර් මස දක්වා කාලය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 88,535ක් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 129 බැගින් මිලදී ගෙන තිබුණි. 2022 දෙසැම්බර් මස සිට 2023 ජනවාරි මස දක්වා කාලය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 9825ක් මෙට්‍රික් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 118.83 බැගින් මිලදී ගෙන තිබුණි.

ගෑස් සැපයීම සඳහා අවම මිල ඉදිරිපත් කරනු ලැබූ සමාගම 2022/2023 වර්ෂ සඳහා සුදුසුකම් ලද සැපයුම්කරු බවට 2022 අප්‍රේල් මස 26 වැනිදින තාක්ෂණික ඇගයීම් කමිටුව නිර්දේශ කොට තිබුණි. එය ප්‍රසම්පාදන කමිටුව විසින් ද අනුමත කර තිබුණි. මෙකී සමාගම සැපයුම්කරු ලෙස තෝරාගැනීම සඳහා 2022 වර්ෂයේ මැයි 04 වැනිදින අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය හිමිවී තිබුණි. ඉන් අනතුරුව වැඩිමිලට ගෑස් සැපයීම සඳහා ඉදිරිපත් වූ සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබූ අභියාචනය සලකා බැලූ අභියාචනා මණ්ඩලය විසින් ද අදාළ ප්‍රසම්පාදනය අඩු මිලට ගෑස් සැපයීම සඳහා තෝරාගනු ලැබූ සමාගම වෙත ලබාදීමට අනුමැතිය ලබාදී තිබුණි. 2022 වර්ෂයේ මාර්තු මාසයේ සිට මෙරටට ගෑස් මිලදී ගැනීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් නොමැති අවස්ථාවක අඩුමිලට ගෑස් සැපයීමට සියාම් ගෑස් ට්‍රේඩින් සමාගම එකඟ වී තිබුණි.

එසේ වැඩිමිලට ගෑස් මිලදී ගනිමින් තිබියදී 2022 ජුනි මස 13 වැනිදින අමාත්‍ය මණ්ඩලයේ තීරණයට අනුව නව ප්‍රසම්පාදනයක් ආරම්භ කිරීමට තීරණය කොට තිබුණි. මෙවැනි පසුබිමක අන්තර්ජාතික වශයෙන් සිදුකරනු ලබන ඉදිරි ගනුදෙනුවලදී ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ පවතින විශ්වාසයට හා විනිවිදභාවයට බලපෑමක් ඇතිවුවහොත් අදාළ සැපයුම්වල මිල ගණන් ඉහළ යාහැකි බවට විගණනය මගින්ද අනාවරණය කොට තිබුණි.

ඒ විතරක් නොව ලිට්‍රෝ ගෑස් සමාගම විසින් 2010 වර්ෂයේ සිට 2022/2023 යන වර්ෂයන් සඳහා ගෑස් මිලදී ගැනීමේදී වැඩි අවස්ථාවක් ඕමාන් ගෑස් සමාගම වෙත ලබාදී ඇති බව සමාගමේ කර්යසාධන වාර්තාව නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේය. 2010 වර්ෂයේ සිට 2015 දක්වා කාලය තුළදී ලිට්‍රෝ සමාගම විසින් ගෑස් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 82 සිට 140 දක්වා මිල ගණන් යටතේ ඕමාන් සමාගමෙන් ගෑස් සමාගමෙන් මිලදීගෙන තිබුණි. 2016 හා 2018 කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ඇමරිකානු ඩොලර් 47.50 සිට 58.01 වු අඩුමිලක් යටතේ ෂෙල් ඉන්ටර්නැෂනල් සමාගමෙන් ගෑස් මිලදී ගෙන තිබිණි. කෙසේවුවද ෂෙල් සමාගම විසින් 2018 වර්ෂයේ ගෑස් සැපයූ මිලට වඩා සියයට 43ක ඉහළ මිලක් යටතේ නැවත වතාවක් 2019 වර්ෂයේදී ඕමාන් ට්‍රේඩින් ඉන්ටර්නැෂනල් සමාගමෙන් ගෑස් මිලදී ගැනීමට කටයුතු කර තිබුණි.

එමෙන්ම 2020 හා 2022 වර්ෂ දෙක සලකා බැලීමේදී එකවර වර්ෂ දෙකක් සඳහා වාර ටෙන්ඩරය ඕමාන් ට්‍රේඩින් සමාගම වෙත පිරිනමා තිබුණි. මෙකී සමාගම මගින් ගෑස් මිලදී ගෙන තිබුණේ 2019 වර්ෂයේ එම සමාගම විසින්ම ගෑස් සැපයූ මිලට වඩා සියයට 55ක් වැඩි මිලකටය. අඩුමිල ගණන් යටතේ ගෑස් සැපයීමට එකඟ වූ සියාම් ගෑස් සමාගමේ ප්‍රසම්පාදනය අවලංගු කිරීමෙන් පසුවද 2022 වර්ෂයේ සිට 2023 ජනවාරි මස දක්වා වැඩිමිලට ඕමාන් ට්‍රේඩින් සමාගමෙන් ගෑස් මෙට්‍රික්ටොන් 98.360 දිගින් දිගටම මිලදී ගෙන තිබුණි. මේ අනුව ලිට්‍රෝ ගෑස් සමාගමේ වැඩි නැමියාවක් ඕමාන් ගෑස් සමාගම වෙත ඇති බව ඉතා පැහැදිලිය.

ඒ විතරක් නොව සියාම් ගෑස් ට්‍රේඩින් සමාගම විසින් 2022 වර්ෂයේ මැයි හා ජුනි මස සඳහා ගෑස් මෙට්‍රික්ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 102 මුදලකට සැපයීමට එකඟ වී තිබුණි. කෙසේවුවද ලබාදී තිබූ දින දෙකක වලංගු කාලය ප්‍රමාණවත් නොවීම මත ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට ලිට්‍රෝ සමාගම විසින් කටයුතු කර නොතිබුණි. එහෙත් ලිට්‍රෝ සමාගම විසින් ඕමාන් ට්‍රේඩින් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් සමාගමෙන් ගෑස් මෙට්‍රික්ටොන් 16.546ක් මෙට්‍රික්ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 105.40ක මුදලකට මිලදී ගෙන තිබුණි. ඒ වනවිට රජය දැඩි විදේශ විනිමය අර්බුදයකටද මුහුණ දී සිටි අතර එවන් පසුබිමක් තුළ වැඩිමිලක් ගෙවා ඕමාන් සමාගමෙන් ඇමරිකානු ඩොලර් 56,256ක් එනම් රුපියල් දෙකෝටි දහනමලක්ෂ හයදහදහස් හතළිස්හතක මුදලක් (20,196,047)ක් වැඩිපුර ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුවී තිබුණි.

එමෙන්ම 2022 වර්ෂයේ මැයි මස වනවිට ලෝක බැංකු ණය ආධාර මුදල ලෙස ලැබුණු ඩොලර් මිලියන 70ක මුදලක්ද යොදාගෙන ජුනි මස සිට මාස 04ක කාලයක් සඳහා ගෑස් මෙට්‍රික්ටොන් ලක්ෂයක් මිලදීගෙන තිබුණේ මෙට්‍රික්ටොන් 01ක් ඩොලර් 129ක මුදලකටය. අඩුම තරමින් ගෑස් සමාගම විසින් සියාම් ගෑස් සමාගමෙන් ගෑස් මෙට්‍රික්ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 110ක මිලක් යටතේ ගෑස් සපයා ගැනීමට එකඟ වූයේ නම් රජයට සිදුවූ පාඩුව අවමකරගැනීමට ඉඩ තිබුණි. රජයට සිදුවූ පාඩුව ඇමරිකානු ඩොලර් 3,145,960ක් එනම් එකසිය දහතුන්කෝටි අසූඅටලක්ෂ තිස්හත්දහස් හාරසියතිහක (1,138,837,430) අලාභය අවම වශයෙන් රුපියල් හැටකෝටි අසූනමලක්ෂ හතළිස්තුන් දහස් හත්සියතිහකින් (608,943,730) අඩුකරගැනීමට හැකියාව පැවතුණි. එමෙන්ම ඉන්දියානු ණය යෝජනාක්‍රමය යටතේ ලද ඇමරිකානු ඩොලර් බිලියන 01ක මුදලින් ගෑස් මිලදී ගැනීම සඳහා ලිට්‍රෝගෑස් සමාගම වෙත ලබාදීමට එකඟ වූ ඇමරිකානු ඩොලර් මිලියන 120 ප්‍රමාණය භාවිත කිරීමට කටයුතු කර නොතිබුණි. ගෑස් සමාගම විසින් මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුවකින් හෝ අරමුදල් සම්පාදනය පිළිබඳ තහවුරුවකින් තොරව ගෑස් නැව් ඇණවුම් කිරීමට කටයුතු කරනු ලැබීය. මේ හේතුන් නිසා 2021 වර්ෂයේ ඔක්තෝබර් මස 22 සිට මාර්තු මස 18 වැනිදින දක්වා කාලසීමාවට අදාළ ඇමරිකානු ඩොලර් 713,556කට සමාන රුපියල් විසිඑක්කෝටි හාරලක්ෂ අනූඅටදහස් අටසිය අනූවක (210,498,890)ක් නැව් ප්‍රමාද කුලී ලෙස ගෙවා තිබුණි. මෙකී මුදලින් දළ වශයෙන් ගෑස් මෙට්‍රික්ටොන් 785ක් මිලදී ගැනීමට හැකියාව පැවතුණි.

අනික් කාරණය වන්නේ ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රසම්පාදන අංශයේ ප්‍රධානියා 2022 වර්ෂයේ පෙබරවාරි මස 11 වැනිදින සිට වයස අවුරුදු 60 සම්පූර්ණවිම මත විශ්‍රාම ගෙන තිබුණි. එහෙත් එම නිලධාරියාට අවස්ථා කිහිපයකදී සේවා දිගු ලබා දී තිබුණි. සමාගම විසින් අභ්‍යන්තරව හෝ බාහිරව සුදුසු සුදුසුකම්ලත් පලපුරුදු නිලධාරියෙකු ආදේශ කිරීමකින් තොරව එම නිලධාරියාටම 2022 වර්ෂයේ ඔක්තෝබර් 17 දින සිට 2023 දෙසැම්බර් මස 31 දින දක්වා කොන්ත්‍රාත් පදනමින් මෙම නිලධාරියාම පත්කිරීමට කටයුතු කර තිබුණි.

එමෙන්ම අඩු මිලකට ගෑස් ලබාදීමට එකඟ වූ සියාම් ගෑස් සමාගම විසින් ක්ෂණික මිලදී ගැනීම සඳහා පොරොත්තු ණය වර ලිපියක් සැපයීමට නොහැකි නම් කලින් ගෙවීමේ පදනම මත ගෑස් සැපයීමට එකඟ වී තිබුණි. එහෙත් එම සමාගමේ ඉල්ලීමට ඉඩනොදී ඉදිරිපත් කරනු ලැබූ ඉල්ලීම සලකා බැලීමකින් තොරව එම කොන්දෙසිය යටතේම වැඩිමිලට ඕමාන් ට්‍රේඩින් ඉන්ටර්නැෂනල් සමාගමකට පමණක් අවස්ථාව ලබාදී තිබූ බව විගණනය මගින් අනාවරණය කොට ඇත. මේ හේතුවෙන් මෙකී ප්‍රසම්පාදනය කිරීමේ විනිවිදභාවය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව විගණනය මගින් සඳහන් කොට තිබුණි.

ගෑස් ප්‍රසම්පාදනයට අදාළ එකඟ වූ සහ තෝරාගනු ලැබූ සැපයුම්කරුගෙන් ඒ අයුරින් මිලදී ගැනීමට නොහැකිවීමට එවකට දිවයිනේ තිබූ ආර්ථික අර්බුදකාරී තත්ත්වය ඉවහල් වූ බව ලිට්‍රෝ ගෑස් සමාගම විසින් නන් අයුරින් අවධාරණය කොට තිබුණි. එහෙත් එවැනි අර්බුදකාරි තත්ත්වයන් තුළ ගෙන තිබූ තීරණයන් ආර්ථික හා සමාජීය වශයෙන් තිබූ ප්‍රශස්තම හා අපක්ෂපාතීම තීරණය යන්න පිළිබඳ අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment