ගෝඨාභය නිල වශයෙන්ම අස්වුණා : කථානායක දැනුම් දෙයි

97

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙන් නිත්‍යානුකූලව ඉල්ලා අස්වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (15දා) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

ඒ අනුව ජනපතිවරයා පෙරේදා (14දා) වනවිට ඉල්ලා අස්වූ බවද ඒ මහතා කියා සිටියේය. එම ප්‍රකාශය මෙසේය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38.1(ආ) වගන්තිය ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය මා වෙත ලැබී ඇත. ඒ අනුව 2022 ජූලි මස 14 වන දින සිට ජනාධිපතිවරයා සිය ධුරයෙන් නීත්‍යානුකූලව ඉල්ලා අස්වී ඇත. ඒ අනුව මෙතැන් පටන් නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ ව්‍යවස්ථාමය ක්‍රියාදාමය ක්‍රියාත්මක වනු ඇත. එම ක්‍රියාදාමය අවසන් වන තෙක් ජනාධිපති ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටුකිරීම සඳහා ව්‍යවස්ථා ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ඇත.

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පක්‍ෂ නායක රැස්වීමේදී මා විසින් සියලු පක්‍ෂ නායකයින් දැනුවත් කළ ආකාරයට 1981 අංක 02 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය ප්‍රකාරව ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම ක්‍රියාදාමය ඉතා ඉක්මනින් සාර්ථකව අවසන් කිරීම මාගේ අරමුණයි. දකුණු ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ආඩම්බර වන අප රටේ මෙම ක්‍රියාදාමය උපරිම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ හා විනිවිද භාවයකින් ක්‍රියාත්මක කිරීම අප රටේ පමණක් නොව ලෝක දේශපාලන ඉතිහාසයටද වැදගත් ඓතිහාසික සිදුවීමක් වනු ඇත.

එබැවින් මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට උපරිම සහයෝගය ලබාදෙන ලෙස සියලු පක්‍ෂ නායකයන්ගෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ ආරක්‍ෂක අංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි. විශේෂයෙන්ම අප රටේ ගෞරවණීය හා ආදරණීය මහජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ නිසි ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් හට නිදහසේ තම හෘදසාක්‍ෂියට එකඟව කටයුතු කිරීමට හා රැස්වීම් සඳහා සහභාගිවීමට සුදුසු සාමකාමී වාතාවරණයක් උදාකර දෙන ලෙසයි. එවැනි සාමකාමී වාතාවරණයක් තුළ සියලු වගකිවයුත්තන්ගේ සහයෝගය ඇතිව දින හතක් වැනි කෙටි කාලයක් තුළ මෙම ක්‍රියාදාමය අවසන් කිරීමට මා බලාපොරොත්තු වෙමි. ඒ අනුව මේ මස 16 වන සෙනසුරාදා දින (2022.07.16) පාර්ලිමේන්තුව රැස්වන බවත් සියලුම මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙසත් මෙයින් දැනුම් දෙමි.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment