ගෝඨාභය යළි දේශපාලනයට එන බවක් කියා නෑ

125

ඇමැති ප්‍රසන්න රණතුංග

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (19දා) නුවරදී පැවසීය.

එමෙන්ම ඔහු එවැනි තීරණයක් ගනීවි යැයි තමන් විශ්වාස නොකරන බව ද හෙතෙම සඳහන් කළේය.

නුවරදී පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඊයේ (19දා) මේ බව කීය.

එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය.

මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට තිබෙන නිදහස හිටපු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතාටත් හිමිවිය යුතුයි. ඔහු තමන්ගේ ඇමෙරිකානු පුරවැසිකම අත්හැරල මේ රටට සේවයක් කරන්න ආපු කෙනෙක්. ඒ නිසා අරගලකරුවන්ට බයේ ඔහුට පිටරට හැංගිලා ඉන්න ඉඩදෙන්න බෑ. ඒක ඔහුගේ මානව හිමිකම් කඩකිරීමක්.

ඒ නිසා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කරලා ඔහුට නැවත මෙරටට පැමිණීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා.

ඒ වගේම ඉතාම ඉක්මනින් අන්තර්කාලීන ආණ්ඩුවක් හෝ අන්තර්කාලීන පාලනයක් පිහිටුවීමට පියවර ගන්න කියලත් අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළා. මොකද මේ ප්‍රශ්නය තව දුරටත් ඇදෙන්න දෙන්න බැහැ. රට ඩොලර් අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොන්දේසි විරහිතව ජනාධිපතිවරයාට සහය ලබා දෙනවා.

අදටත් පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රීවරුන් 145ක් ඉන්නවා. ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා ඡන්දයේදී පොදුජන පෙරමුණේ ඡන්ද 125 ට වැඩි ප්‍රමාණයක් ලැබුණා. රටේ ප්‍රශ්න විසඳන්න පාර්ලිමේන්තුවේ ඒ බහුතරය ලොකු ශක්තියක්.

advertistmentadvertistment
advertistmentadvertistment