ජනතාවට සහන සැලසීම රජයක වගකීමක්

137

වසර දෙදහස් පන්සීයක ප්‍රෞඪ ඉතිහාසයක් ගැන කතා කරන අපි අද වනවිට ලෝකයේ සියලු බලවතුන් ඉදිරියේ දණින් වැටී සිඟමන් යදින තත්ත්වයට පත් වී ඇත. 1948 නිදහසින් පසු වසර 75ක් ගෙවී ඇතත් රටේ මහජනතාව දවසින් දවස කබලෙන් ලිපට වැටෙන තත්ත්වයකට පත් වීම කනගාටුවට කරුණකි. 1960 ගණන් වල ලංකාවට පැමිණි ලී ක්වාන් යූ අගමැතිවරයා සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් කරන බවට අදහස් පළ කර ඇත.

අපේ රටේ මෙතෙක් බලයට පැමිණි සියලුම පාලකයන් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරන බවට කරන පුරසාරම් කතාවලින් නම් අඩුවක් නොමැත. 1970 දශකයෙන් පසුව බලයට පත් වූ රජයන් සහ එම රජයන් මෙහෙයවීම් කළ ඉහළ නිලධාරි පංතිය ද රටේ අද පවතින දේශපාලන සහ ආර්ථික පරිහානියට වගකිව යුතුය. 2000 වසරෙන් පසු මැති ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රටේ ජනතා අවශ්‍යතාවලට වඩා තම බලය වෙනුවෙන් ක්‍රියාත්මක කළ විවිධ ව්‍යාපෘති මෙන්ම තීන්දු තීරණවලින් රටට යහපතකට වඩා සිදු වී ඇත්තේ අයහපතකි. වර්තමානය වන විට මේ තත්ත්වය අන්තයටම ගොස් ඇති බව දිනපතා වාර්තා වන පුවත් වලින් සාක්‍ෂි දරයි. රට පුරා පැතිර ඇති මත්ද්‍රව්‍ය ජාවාරම ළමා අපචාර මංකොල්ලකෑම්, මිනීමැරුම් සහ වෙනත් අපරාධ නිතර අසන්නට ලැබේ. සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරන අලි මිනිස් ගැටුම, අස්වැන්නට නිසි මිලක් නොලැබීම, කෘෂිකර්ම කටයුතුවලට අවශ්‍ය ජලය පොහොර නිසි පරිදි නොලැබීම, අහිංසක රෝගීන්ගේ අවශ්‍යතාවලට සරිලන විශ්වාසදායී ඖෂධ ලබා ගැනීමට නොහැකි වීම, දරුවන්ට පාසලක් ලබා ගැනීම මේ සියලු ගැටලු දැනට වසර කීපයක් තිස්සේ ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඇත. රටේ ජනගහනය වර්ධනය වන විට ජනතාව මුහුණ දෙන ගැටලු ද සංකීර්ණ වන බව සත්‍යයකි. එහෙත් ඒවාට විසඳුම් සෙවීමට අවශ්‍ය මහජන නියෝජිතයන්, නිලධාරීන් දෙතුන් ගුණයකින් වැඩි කර ඇත. එකින් එකට අමාත්‍යාංශ ද සිය ගණනක් ඇත. ඒවාට වෙන් කරන සම්පත් සඳහා වැය කරන මහජන මුදල් ද වසරින් වසර වැඩි වී ඇත. එහෙත් එදා ජනතාවට තිබූ ගැටලු වැඩි වූවා මිස අඩුවක් නැත. පත්වන සෑම රජයකින්ම රටට සැලසුම් සකස් කළත් ඒවා ක්‍රියාත්මක වීමේ දී ජනතාව පීඩාවට පත් වන අයුරින් ක්‍රියාත්මක වීම රටේ අභාග්‍යකි. මෑතකදී දක්නට ඇති හොඳම උදාහරණය මේ දිනවල පවතින ගංවතුර උවදුරයි. නිල්වලා ගඟේ ලවණ බාධකය විශාල මුදලක් යොදවා සකස් කර ඇත්තේ නියං සමයේ කරදිය පානීය ජලයට එක් වීම වැළැක්වීම සඳහායි. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමෙන් පසු පැමිණි පළමු ගං වතුරෙන්ම ප්‍රදේශයේ ගම්බිම් විශාල ප්‍රමාණයක් යට වී මේ වන විට දින ගණනක් ගත වී ඇත. සැලසුම් සැකසීමේ දී නිවැරදි අධ්‍යයනයක් නොකිරීම, මූලික සැලසුම් අනුව කටයුතු නොකිරීම පෞද්ගලික ලාභ අපේක්‍ෂාවන් නිසා අද වන විට විශාල පිරිසක් අනාථභාවයට පත්ව ඇත. මෙම ගැටලු විසඳීමට තවත් මිලියන ගණනක් මහජන මුදල් වැය කර තවත් සැලසුමක් ක්‍රියාත්මක කරනු ඇත. මේ දිනවල සාමාන්‍ය වැස්සකදී පවා කොළඹ නගරය ඇතුළු නගර කීපයක් සහ ග්‍රාමීය ප්‍රදේශ ජලයෙන් යට වේ. ප්‍රාදේශීය සභා, සුළු නගර සභා, මහ නගර සභා, පළාත් සභා මේ වන විට අක්‍රීයව පැවතුනත් මීට වසර දෙකකට පමණ පෙර සිට මේ සියල්ල ක්‍රියාත්මක විය. වැස්සෙන් පසු රැස්වන ජලය නිසි පරිදි බැස යෑමට සුදුසු කාණු පද්ධති සකස් නොකිරීමත්, සකස් කරන කාණු පද්ධති නිසි සැලසුමකින් තොරව මහජන මුදල් ගසාකන කොන්ත්‍රාත් බවට පත් කර ගැනීමත් නිසා සියලු ව්‍යාපෘති ජනතාවට පීඩා ගෙන දෙන තත්ත්වයන් බවට පත් වී ඇත.

රටට අවශ්‍ය විදේශ විනිමය රැස්කර ගැනීමට අපනයන දිරිගැන්වීම් නව නිෂ්පාදන ඇති කිරීම් නිමි භාණ්ඩ අපනයනය කිරීම වෙනුවට සියලු දේම ආනයනය කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙමින් ඇත. රටට අවශ්‍ය සහල්, කිරිපිටි, බිත්තර, මාළු, එළවලු පවා ආනයනය කරන තත්ත්වයට පත් වී ඇත. ඇතැම් අවස්ථාවල රටේ අවශ්‍යතාවය සඳහා බිත්තර ඉන්දියාවෙන් ගෙන්වමින් රටේ නිෂ්පාදනය වන කොටස විදේශ රටවල්වලට අපනයනය කිරීම සිදු කරයි. මෙයින් රටට විදේශ විනිමය ලැබෙන බව සත්‍යයකි. එහෙත් රටට ගෙන්වන සියලු දේ සඳහා වැය වන්නේ ද විදේශ විනිමය බවද නොවැටහීම අභාග්‍යයකි. වර්තමානය වන විට පාරිභෝගික භාණ්ඩ මෙන්ම නිෂ්පාදිත අමුද්‍රව්‍ය මිලද විශාල ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. සහල්, එළවලු, මාළු, ගොඩනැඟිලි ද්‍රව්‍ය, පාසල් උපකරණ, ඖෂධ ඇතුළු සියලුම භාණ්ඩවල මිල ගණන් දිනෙන් දින ඉහළ ගියත් ඒවා පාලනයට කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්ම නොවේ. මේ සඳහා අදාළ අමාත්‍යවරුන් වංචනික ජාවාරම්කරුවන්ගේ අලෙවි නියෝජිතයන් බවට පත්වෙමින් වැඩිවෙන මිල සාධාරණීකරණය කරන්නට මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සිටිති. රටේ බොහොමයක් ආයතන මහජනතාව වෙනුවෙන් තම වගකීම සහ යුතුකම ඉටුකරන්නේ දැයි සැක සහිතය. රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස කතා බහට ලක්වන සංචාරකයන් රටට ගෙන්වා ගැනීම පිළිබඳ ඇති පහසුකම් සලකා බැලුවහොත් රටේ ප්‍රධාන ගුවන් සේවාව ලං.ග.ම. බස් සේවාවටත් වඩා අන්තයට පිරිහී ඇත. දුම්රිය සේවාවද වැඩ කරන වේලාවන්ට වඩා වර්ජන කරන වේලාවන් වැඩි වී ඇත. සුළු වැසි තත්ත්වයකදී පවා ගං වතුරෙන් ප්‍රධාන නගරවල මහා මාර්ග දවස් ගණන් යට වී තිබේ. රටට පැමිණෙන විදේශිකයන්ට යෑමට සුදුසු වැසිකිළි කැසිකිළි පද්ධති විවේක ගත හැකි පොදු ස්ථාන රට තුළ තිබේ ද? මීට වසර ගණනාවකට එපිට පැරණි රජවරුන් කාලයේ ඉදිකළ අදටත් නිසි නඩත්තුවක් නැති පැරණි ඉදිකිරීම්වල නටඹුන් හැරුන විට අලුතින් ඉදිකරන ලද සංචාරකයන්ට නැරඹිය හැකි ස්ථාන රට තුළ තිබේ දැයි සොයා බැලිය යුතුය. පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන හෝටල් පද්ධති තුළින් ඒ ඒ ප්‍රදේශ තුළ පරිසරය යම් තරමකින් කළමනාකරණය කළා නම් මිස ඒ සඳහා වෙන් වුණ ආයතනවලින් සිදු කරන කාර්යභාරයක් නැති තරම්ය. වර්තමානයේ රටේ ක්‍රියාත්මක වන්නේ එදා වේල කෑමේ වැඩපිළිවෙළකි. අනතුරුදායක පාලම් අලුතින් ඉදිකරන්නට නම් මගීන් සමඟ වාහනයක් පාලම යටට කඩා වැටී කිහිප දෙනකු මියයා යුතුය. මහා මාර්ගයේ ඇති වළක් ගොඩ කිරීමට නම් දෙතුන් දෙනකු එම වළේ වැටී මියයා යුතුය. මහමඟ ඇති ගස් අතු ඉවත් කිරීමට නම් ඒවායින් එකක් දෙකක් හෝ මගීන්ගේ හිස මතට කඩා වැටිය යුතුය. රටට ගෙන්වන බාල ඖෂධ හඳුනා ගැනීමට නම් රෝගීන් හත්අට දෙනෙක්වත් එකවර මිය යා යුතුය. මේ සියලු තැන් වලදී රටේ පාලකයන් හෝ සැලසුම් ක්‍රියාත්මක කරන නිලධාරීන් කිසිම අපහසුතාවට පත් නොවෙති. ඒ නිසාම මහජනතාව විඳින පීඩාව ඔවුන්ට නොදැනේ. අද වන විට රටේ වගකිව යුතු බොහොමයක් ආයතන තම වගකීම් ඉටු නොකර අයාලේ යන තත්ත්වයකට පත්ව ඇත. එසේ නොවන්නේ නම් ජනතාව මේ තරම් පීඩනයකට පත් නොවනු ඇත. මහජන මුදලින් නඩත්තු වන ආයතන නිසි පරිදි ක්‍රියාත්මක කරවීමට රජයට හැකියාවක් නොමැති නම් විධායක ජනාධිපතිවරයකුගේ හෝ අමාත්‍ය මණ්ඩලයකින් රටට ඇති සෙත කුමක් දැයි ජනතාව ප්‍රශ්න කරමින් සිටිති.

රාජ්‍ය සේවයේ එක් ආයතනයක් කරන දේ අනෙක් ආයතනය නොදන්නා තත්ත්වයට පත්ව ඇති අතර එක් ආයතනයකින් මාර්ගය සංවර්ධනය කරන විට තවත් ආයතනයකින් පැමිණි ජල නල හෝ දුරකථන රැහැන් යෙදීමට මාර්ගය නිසි පරිදි නැවත සකස් නොකරන කොන්ත්‍රාත්කරුවන් පැන යන තත්ත්වයක් දක්නට ඇත. ඇතැම් මාර්ගවල සංවර්ධන සැලසුම් අතරමඟ නතර කර ඇතත් ඇස්තමේන්තු ගත මුදල් ගෙවා අවසන් කරයි. විශේෂයෙන් රටේ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේදී වැසි සමය අවසන් වනවිට එම කටයුතු ආරම්භ කරන විට වැස්ස වැටෙන විට ප්‍රතිසංස්කරණ කටයුතු අතරමග නතර කර දමා ඉවත්වන අවස්ථාද දක්නට ඇත. මහජන මුදල් වැයකර ආරම්භ කර ඇති වැඩ අවසන් නොවූ සහ වැඩ අවසන් කළත් මෙතෙක් ප්‍රයෝජනයක් නොගෙන දේශපාලන කුහකකම් මත අතහැර දමා තිබෙන ව්‍යාපෘති ඕනෑ තරම් රට පුරා ඇත. මෙවැනි ව්‍යාපෘති පිළිබඳව සොයා බලන පසු විපරම් කරන වගකිවයුත්තෙක් නැත. සිස්ටම් චේන්ජ් එකක් සමග 225 ම පන්නා දැමිය යුතු යැයි කිව්වත් ඒ කියන බොහෝ උසස් නිලධාරීන් සහ ආයතනද තම බලය පමණක් ගැන සිතන ඇතැම් වෘත්තීය සමිති සහ දේශපාලන අතකොලු බවට පත්වී ඇති ශිෂ්‍ය ව්‍යාපාර ද රටේ පරිහානියට වගකිවයුතුය.

සෝමදාස කන්දෙගේ
මාතර

advertistmentadvertistment
advertistmentadvertistment