ජනපති ඉල්ලන සහයෝගය පක්ෂ නායකයන් අහන්නේ නැත්නම් දේශපාලන තීන්දුවක් ගන්නවා

173

පා. ම. දොස්තර රාජිත සේනාරත්න

ජනාධිපති සියලු පක්ෂවලින් සහයෝගය ඉල්ලා ඉල්ලීමක් කළ පසුවත් පක්ෂ නායකයන් එය අහන්නේ නැත්නම් එතැනදී අපට දේශපාලන තීන්දුවක් ගත හැකි යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී පෙරේදා (06දා) පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කීය.

මේ වන විට ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් රට තුළ කතාබහක් ඇතිවෙලා තිබෙනවා. දැනට ක්‍රියාත්මක ත්‍රස්ත විරෝධී පනත එදා ගෙනාවේ තාවකාලික කාලපරිච්ඡේදයකට කියලා කිව්වත් දැන් වසර හතළිහක් තිස්සේ එය පාවිච්චි කරනවා. එදා එක්සත් ජාතික පක්ෂය ඇරෙන්න පාර්ලිමේන්තුවෙන් පිට පක්ෂ මෙයට විරුද්ධ වුණා. නමුත් එක්සත් ජාතික පක්ෂය බලයට ඇවිල්ලත් දිගටම පාවිච්චි කරා. මගේ පෞද්ගලික අදහස ත්‍රස්ත විරෝධී පනතක් ලංකාවට අවශ්‍ය ද කියලා. 1958 පළමු කැරැල්ල ලංකාවේ ඇති වුණා. ජාතිවාදී කෝලාහලය එය මර්දනය කළේ හදිසි නීතිය පාවිච්චි කරලා. එදා තිබුණු රජය හදිසි නීතිය පාවිච්චි කළත් එය දැඩිව විවේචනයට ලක්කර බණ්ඩාරනායක මහත්මයාට සිදුවුණා හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න. ඉන්පසු ලංකාවේ 1971 සන්නද්ධ අරගලය ඇති වුණා. එය ජනතා විමුක්ති පෙරමුණේ එදත් ත්‍රස්ත විරෝධී පනත හරහා නෙමෙයි එය සමතයට පත් කළේ දණ්ඩ නීති සංග්‍රහය හදිසි නීති පනත යටතේයි.

නැවත 88 ජනතා විමුක්ති පෙරමුණ දෙවෙනි කැරැල්ල ආවා. එදත් පනත් තිබුණා. උතුරේ කැරැල්ල අවුරුදු තිහක් තිස්සේ ක්‍රියාත්මක වුණා. පනත් තිබුණ කියලා වෙනසක් ඇති වුණේ නැහැ. අදත් ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවලත් ත්‍රස්ත විරෝධී පනත් තියෙනවා. මොකද ඒ රටවලට දිනපතා ජාත්‍යන්තර ත්‍රස්තවාදයට මුහුණ දෙනවා. නමුත් අපි වගේ රටකට මෙවැනි තර්ජන නැහැ. සහරාන්ගේ ප්‍රහාරය බොරුවට අයිඑස්අයිඑස් කියල කිව්වට එහෙම එකක් නැහැ. ඒක විශාල කුමන්ත්‍රණයක්. ඒ වගේම තමයි වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දිහා බැලුවම අසීරුතාවක තියෙනවා. රෝහල්වල බෙහෙත් නැහැ වෛද්‍යවරුන් රට දාලා යනවා. ප්‍රධාන පුවත් පතක සඳහන් වෙනවා අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් 9ක් රට අතහැර ගිහින් කියලා. වෛද්‍යවරුන් නැහැ සැත්කම් බාගයයි කරන්නේ. හෘද රෝගීන් පෝලිමක් 2026 දක්වා තියෙනවා. මගේ කාලේ ඖෂධ හිඟයක් ආවම ඒ වෙනුවෙන් තාක්ෂණය පාවිච්චි කරලා ඒවාට විසඳුම් ලබා දුන්නා. දුප්පත් රෝගී ජනතාව වෙනුවෙන් මේ තත්ත්වය හොඳින් කළමනාකරණය කරලා කරන්න කියලා වත්මන් රජයට අවධාරණය කරනවා.

එහිදී මාධ්‍යවේදින් විසින් මෙසේ ප්‍රශ්න නැගීය.

ප්‍රශ්නය – සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල කඩාවැටීමක් තිබෙනවා. ඔබතුමාගේ කාලයේ යම්කිසි සාධනීය තත්ත්වයක් තිබුණා. ඔබතුමාට අදහසක් නැද්ද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග කතා කරලා ජනතාව වෙනුවෙන් සහනයක් ලබා දෙන්න.

පිළිතුර – මම ජනාධිපතිතුමාව මුණගැහිලා මේ තත්ත්වය පැහැදිලි කළා. ජනාධිපතිතුමාට මේ ගැන අවබෝධයක් තියෙනවා. ජනාධිපතිතුමා බලතල අරගෙන ක්‍රියාත්මක කරන බව කිව්වා. තව ටික දවසකින් රෝහල් තුළත් කැරලි ඇති වෙන්න පුළුවන්. ඒවා මානුෂීය කැරලි. ඒ නිසා රෝහල් පද්ධතිය ගෙනියන්න බැරි තත්ත්වයක් ඇතිවෙයි. රෝගීන්ගේ ඉවසීමේ සීමාවක් තිබෙනවා. ඔවුන් දැක දැක ඔවුන්ගේ පවුලේ අය මිය යනවා දකින්න කවුරුත් කැමති නැහැ. එහි වේදනාව දරාගන්න බැරි වෙනකොට විශාල නැගී සිටීමක් ඇතිවෙයි. පැහැදිලිවම කියනවා ඉතා ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්න. ඒ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන අය පත් කරන්න.

ප්‍රශ්නය – ඔබ තුමා කියලා තිබුණා ප්‍රතිපත්ති බලනකොට සමහර ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයෙත් එකයි කියලා. එහිදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න කවුරුත් ඔබතුමා එක්ක යන්න බලාපොරොත්තුවක් තියෙනවද?

පිළිතුර – තවමත් එහෙම ආණ්ඩුවකට යෑමේ බලාපොරොත්තුවක් නැහැ. නමුත් මා පැහැදිලිව කියනවා එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයෙත් බෙදීම සිදුවුණේ ප්‍රතිපත්තිමය කාරණා නිසා නෙමෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලන තීන්දු ගැනීමේ ක්‍රියාකලාපය මත පමණයි. නමුත් අපි දෙගොල්ලොම එක ප්‍රතිපත්ති අද මේකට විසඳුම් හැටියට මේ ආණ්ඩුව අන්තිමට ගියේ අයිඑම්එෆ් එකට. අපි විපක්ෂයක් වශයෙන් දිගින් දිගටම කිව්වේ අයිඑම්එෆ් යන්න කියලා. ආර්ථික පිළිබඳ විශේෂඥයන් හර්ෂ, ඉරාන්, කබීර් දිගින් දිගටම ඉල්ලීම් කරා යන්න කියලා. අන්තිමට රනිල් වික්‍රමසිංහ ආවම අයිඑම්එෆ් ගියා. පොහොට්ටුව තිබුණා නම් යන්නේ නැහැ. ඒ අයයි අපියි අතර ප්‍රතිපත්තිමය වෙනසක් තියෙනවා.

ප්‍රශ්නය – ඔබතුමාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවල යම් යම් දේවල් තියෙනවා අපි දැක්කා. ඊයේ පෙරේදා ඉඳලා සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් ඊටත් උඩට ගිහිල්ලා අපි යන්නේ නැහැ කියනවා. කාටද ඒ යන්නේ නැහැ කියන්නේ ඔබතුමා යනවා කියලා දැනගෙනද?

පිළිතුර – බොහෝ අය අපිට කිව්වා එහෙම කියන්න කියලා. මම ඒ කියන කියන විදිහට ප්‍රකාශ නිකුත් කරන්න ලෑස්ති නැහැ. යනවද නැද්ද කියලා නෙමෙයි ප්‍රශ්නය තියෙන්නේ රට ගොඩනඟනවා ද නැද්ද කියන එක විතරයි. මම දේශපාලනයට ආවේ වෛද්‍ය වෘත්තිය ව්‍යාපාර කටයුතු අයින් කරලා. අද පඩියට විතරයි මගේ ආදායම සීමා වෙලා තියෙන්නේ. මේ තත්ත්වයට ආවේ සියලු දේවල් වහලා දාලා එක එක ඒව කියන්න නෙමෙයි. මට ආත්ම ශක්තියක් තියෙනවා දේශපාලන චින්තනයක් තියෙනවා ඒ අනුව මම තීන්දු ගන්නවා.

ප්‍රශ්නය – ඔබතුමා ගියොත් සමගි ජනබලවේගයේ හතළිහක් යනවා කියලා කතාවක් මාධ්‍යයේ තියෙනවා.

පිළිතුර – එහෙම යනවා කියන්න මේක නෑදෑකම් යනවා නෙමෙයි ඒව දේශපාලන තීන්දු.

ප්‍රශ්නය – ඔබතුමා ත්‍රස්ත පනත ගැන යම් සාධනීය කරුණ දෙකක් සම්බන්ධයෙන් කිව්වා ඒක හොඳයි කියලා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දී ඔබතුමා කිව්වා දැන් සල්ලි ලැබිලා තියෙනවා එය ගොඩනගන්න පුළුවන් කියලා. දැන් ජනාධිපතිතුමා ආර්ථිකය ගොඩනගා ගෙන යනවා කියලා ඔබතුමාට පේනවද?

පිළිතුර – පැහැදිලිවම එය පිළිගන්න ඕන. එහෙම නැත්තම් අපි අන්ධයෝ මුළු ලංකාවේ මිනිස්සු අපිට හමුවෙන අය කියන එක නෙමෙයි අපි විතරක් පක්ෂයක කියලා විවේචනය කරනවා නම්. ඒ වගේ පුළුවන් මාක්ස්වාදී කටෝර පොතේගුරු වාදීන් විදිහට කතා කරන්න බැහැ. අද දේශපාලනය කියන්නේ ප්‍රායෝගික වාදයක්. එය ලෝකයේ හැම තැනකම පිළිගැනීමට ලක්වෙලා තියෙනවා. එහිදී අපි දැනගන්න ඕන ඉන්ධන පෝලිම් තියෙනවද, ඉන්ධන මිල ටික ටික අඩු වෙනවා, ගෑස් පෝලිම නැහැ, ගෑස් මිල අඩු වුණා, භූමි තෙල් පෝලිම නැහැ, විදුලිය කපන්නේ නැහැ, අනෙකුත් භාණ්ඩ වල මිල අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ, එළවළු මිල මාළු මිල හැම එකක්ම අඩු වෙනවා කියලා මිනිස්සු කියන බව අපි දකිනවා. අපිටත් හැමතිස්සෙම කතා කරන අය කියන්නේ එදාට වඩා තත්ත්වය හොඳයි කියලා. ඒ තත්ත්වය හොඳ නිසා නෙමෙයි සංසන්දනාත්මකව තිබුණු තත්ත්වයට වඩා හොඳයි. පොහොට්ටුවේ ඇති කරපු තත්වෙන් රට මුදවල තියෙනවා රනිල් වික්‍රමසිංහ කියන දේශපාලන නායකයා.

ප්‍රශ්නය – දැන් මේ විදිහට පොඩ්ඩක් ආර්ථිකය උඩට දාලා යනකොට ප්‍රාදේශීය සභා ඡන්දයක් නැතුව ජනාධිපතිවරණයක් එයි කියලා විශ්වාසයක් තියෙනව ද?

පිළිතුර – ඔව් මම මුල ඉදලම කිව්වා පළාත් පාලන ඡන්දය එන්නේ නැහැ කියලා. කට්ටිය කිව්වා එනවා මයි කියලා. සමහර මහාචාර්යවරු කිව්වා කිසිම හේතුවක් නෑ මේක කල් දාන්න කියලා නීති තර්කවලින්. මගේ වෛද්‍ය සාත්තරේ මේවා නිර්වචනය කරන්න බැහැ. තව කෙනෙකුට නීතිය නිර්වචනය කරන්න බැහැ .අවසානයේදී තීන්දු වෙන්නේ දේශපාලන දර්ශනයත් එක්ක. අපි ඔක්කොම දේශපාලනයට එනවා නම් ඉගෙන ගත යුතු දේ තමයි දේශපාලනය. මම බැසිල් ද සිල්වාගේ දේශපාලනයේ අ යන්න කියන පොතේ ඉඳලා කියවලා තියෙනවා.

ප්‍රශ්නය – දැන් රට වැටිච්ච වෙලාවේ ගොඩනඟන්න ගොඩක් කෙනෙක් හිටියේ නැහැ කිව්වා. සමහර අය ආසයි බයයි කිව්වා. එහිදී වර්තමාන ජනාධිපතිතුමා මේ තැනට ගෙනාවට පස්සේ ආයෙත් දිගටම එතුමන් එක්ක එකතු වෙන්න කට්ටිය ඉන්නවද?

පිළිතුර – එකතුවීමක් නෙමෙයි මෙහි තිබෙන්නේ සහයෝගය හා විරෝධය සමහර කොටස් තවමත් විරෝධය පානවා. හැබැයි සමහර කට්ටිය එක්ක විරෝධය පාන්න හේතුවෙන විදිහට රජය ක්‍රියා කරනවා. තව කොටසක් සහයෝගය දෙනවා. දැන් අපේ පක්ෂයේ හර්ෂලා පැහැදිලිව පාර්ලිමේන්තුවෙත් කිව්වා මේ වැඩපිළිවෙළට සහයෝගය දෙනවා කියලා. එහෙම නැහැයි කියන්න බැහැ. අපි කියපු වැඩපිළිවෙළ තමයි මේ කරන්නේ කොහොමද එහි වෙනසක් ඇති වෙන්නේ.

ප්‍රශ්නය – සහයෝගය දෙන්න කියලා ඇමතිකමක් දුන්නොත් සෞඛ්‍ය ඇමතිකම වගේ බාර අරගෙන ගිහින් ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරනවද,?

පිළිතුර – නෑ එහෙම තනියෙන් රජයකට එකතු වෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. දේශපාලන සංවිධානගතව පමණයි. එතැනදී ජනාධිපතිතුමා ඉල්ලීමක් කරන්න ඕන සියලුම දේශපාලන පක්ෂවලට ඒ ඉල්ලීම කරල. ඒකටත් අහන්නේ නැත්නම් එතැනදී අපට තීන්දුවක් ගත හැකියි කණ්ඩායමක් වශයෙන් මොකක්ද කළ යුත්තේ කියලා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment