ටින් කබලක් තුළට බොරලු දමා සෙලවූ හැටි

2048

කිසිදු ප‍්‍රයෝජනයක් නැති හිස්ම හිස් පුස්ම පුස් තවත් පාර්ලිමේන්තු සැසිවාරයක් ඊයේ (05දා) නිමාවට පත් විය. ටින් කබලක් ඇතුළට බොරලු දමා සෙලවූ විට නිකුත් වන මළකඩ ශබ්දය සහ ඊයේ පාර්ලිමේන්තු සැසිවාරය අතර වැඩි වෙනසක් නැත. මහජනතාවගේ ප‍්‍රමුඛ ප‍්‍රශ්නවලට විසඳුම් දෙන විසඳුමකට මග පාදන පාර්ලිමේන්තු සැසිවාරයක් ඊයේ පැවැත්වෙනු ඇති බව සියලුම දෙනාගේ අපේක්ෂාව විය. මේ සැරේ ආණ්ඩුවට විරුද්ධව යන උද්ඝෝෂණය අමුතුම ජාතියේ සිවිල් උද්ඝෝෂණයකි. එයට සහභාගි වූවෝ කොණ්ඩය ටින්ට් කරගත් ඇෙඟ් පච්ච කොටාගත් සැපට හැදුණු වැඩුණු තරුණ තරුණියෝ ය. මෙය මේ රටේ ඉහළ මධ්‍යම පාංතික සහ මධ්‍යම පාංතික සමාජ ස්ථරය බව අපේ වැටහීම ය.

පහළ මධ්‍යම පන්තිය විරෝධතාවන්ට එන්නේ තෝරාගත් දේශපාලන පක්ෂයක් සමග ය. සමහරවිට එය සජිත්ගේ සජබ විය හැකිය. නොඑසේ නම් අනුර දිසානායකගේ ජවිපෙ විය හැකිය. එහෙමත් නැත්නම් පොහොට්ටුවෙන් කැඞී ගිය ලක්ෂ සංඛ්‍යාත මල් පෙති සහ මල් රේණු විය හැකිය. මේ සියලු දෙනා අපේක්ෂා කරන්නේ අලුත් ආණ්ඩුවක් සහ අලුත් ජනාධිපති කෙනෙකි. එහෙමත් නැත්නම් ජාතික ආණ්ඩුවකි; භාරකාර රජයකි. ඊයේ පාර්ලිමේන්තු සැසිවාරයේදී මේ කිසිදු අපේක්ෂාවක් ඉටුවුණේ නැත. සමහරු කතා කළේ සිය දේශපාලන ගමන ගැනය. පොලොන්නරුවේ මන්ත‍්‍රී රොෂාන් රණසිංහ තම දේශපාලන ගමන් මගේ වගතුග කීම සඳහා පාර්ලිමේන්තුවේ වටිනා කාලයෙන් සෑහෙන වෙලාවක් වැය කර චාටර් වී ඉඳ ගත්තේය. ත

වත් සමහරෙක් කීවේ විරෝධතාකරුවන් තම තමන්ගේ ගෙවල්වලට ගහන නමුත් ඔවුන්ගේ සටන කෙරෙහි තමන් තුළ ගෞරවයක් පවත්නා බවය. මේ මොන පල් බොරු කතාද? තමන්ගේ ගෙට ගැහුවාට පසු එසේ ගැහූ එකා ගැන ගෞරවයක් හටගන්නේ කොහොමද? මේ රටේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු නිදහසින් පසු පැවැති හැම පාර්ලිමේන්තුවකදීම පල් බොරු කියමින් කාලය කා දැමූහ. පාර්ලිමේන්තු වරප‍්‍රසාදවල සෙවනේ සිට පාර්ලිමේන්තුවෙන් එළියේ සිටින මිනිසුන්ට අපහාස කළහ.

ඊයේ පාර්ලිමේන්තු සැසිවාරයේදී ප‍්‍රයෝජනවත් කතා පැවැත්වූවේ කුමාර වෙල්ගම, රනිල් වික‍්‍රමසිංහ, අනුර දිසානායක, සරත් ෆොන්සේකා සහ වාසුදේව නානායක්කාර පමණි. ඊට අමතරව සජිත් පේ‍්‍රමදාස පොයින්ට් එකට කතා කළේය. මේ විනාශය ඉකුත් ජනාධිපතිවරණයට පෙර සිටම තමා විසින් දක්නා ලද හැටි කුමාර වෙල්ගම විස්තර කළේය. රනිල් වික‍්‍රමසිංහගේ අදහස වූයේ අර්බුදයට මගක් නොසෙව්වොත් විය හැකි විනාශයයි. මේ රටේ ජනයා ඉල්ලන දේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඊට විසඳුම් යොදනවා මිස බයිලා ගායනාවලින් වැඩක් නොමැති බව කීමට අනුර දිසානායක උත්සාහ කළේය. සරත් ෆොන්සේකා කිව්වේ සියලු හොරුන් ගෙදර යවනවා පමණක් නොව ඔවුන්ට දඬුවම් ද කළ යුතු බවයි. ඉතිහාසයේ මේ මොහොත කෙසේ පසුකළ යුතු ද යන්න ගැන අවධනය යොමු කළ යුතු බව වාසුදේවගේ මතය විය. මේ අනුව පාර්ලිමේන්තුවේ 225 න් වැදගත් දෙයක් කතා කළෝ මන්තී‍්‍රවරුන් 6 ක් පමණි. මේ රටට මේ කෙළිය සිදුවුණේ මක් නිසාද යන්න කතා කිරීම සෙස්සන් විසින් වුවමනාවෙන්ම මඟ හරින ලදී.

ලංකාවට මෙවැනි දේශපාලන විකාරයක්, සමාජ ඛේදවාචකයක් සහ ආර්ථික වින්නැහියක් වූයේ ඇයි? 1948 සිට මේ රට පාලනය කළ සියලු ආණ්ඩු මේ විනාශයේ හවුල්කාරයෝ වෙති. මේ ආණ්ඩුවට කෙළවුණේ ඇයි? එයට ප‍්‍රමුඛ හේතුව මේ ආණ්ඩුවේ දරදඬු ප‍්‍රතිපත්තිය විය යුතුය. අවුරුදු එකහමාරකට වැඩි වසංගත කාලයකින් පසු මේ රටේ ජනයා කුඹුරු ගොවිතැන් පටන් ගන්නට යන විට ආණ්ඩුව ඔවුන්ගේ ඇඟ මත කාබනික පොහොර පැටවීය. ශ‍්‍රී ලංකාව කාබනික පොහොරවලින් ඉවත් වී අවුරුදු හැටකටත් වැඩිය. මේ රටේ ජනගහනය පනස් ලක්ෂයක්ව සිටියදී කාබනික පොහොර යොදා ලබාගත් සීමාසහිත අස්වැන්නෙන් බඩ පිරවීමට හැකි විය. එහෙත් රටේ ජනගහනය දෙකෝටි විසි ලක්ෂයක්ව පවත්නා මේ මොහොතේදී වැඩි අස්වැන්නක් අවශ්‍ය ය. මෙයට අවුරුදු 60 ට ඉස්සර කාබනික පොහොර යොදා ලබාගත් වී කරලක වී ඇට සීයක් තිබුණා නම් අද වී කරලක අඩුම ගන්නේ වී ඇට 400 ක් වත් තිබිය යුතුය. රසායනික පොහොර මගින් කළේ මේ ඇට ගණන වැඩි කිරීමයි.

මිනිස්සු 60 අවුරුද්දකට වැඩි කාලයක් කෘමිනාශක, වල් නාශක රසායනික පොහොර සමග ගොවිතැන් කරමින් බඩට බත් කා ලෙඩත් හදාගෙන ඒවාට බෙහෙත් බොමින් යම්කිසි ආකාරයක අස්වාභාවික නමුත් සමතුලිත ජීවිත ගත කළහ. රසායනික පොහොර නිසා මැරෙන එකා මළේය. ලෙඩ වුණත් මරණයෙන් බේරීමට වාසනාව තිබූ එකා බේරිණ. මේ තත්ත්වය නැතිකර තනිකරම කාබනික පොහොර වගාවකට යෑමට නම් මේ රට අඩුම ගණනේ අවුරුදු 10 ක්වත් රසායනික පොහොර සහ කාබනික පොහොර අතර දෝලනය වෙමින් කෘෂිකාර්මික ගමනක් යා යුතුව තිබිණ. එහෙත් ගෝඨාභයගේ ආණ්ඩුව කුලඟන සමිතියක් ඉදිරියේදී අමුඩය කැඩුවාක් මෙන් එකවරම කාබනික පොහොර තොගයක් ගොවීන් මත හෙළීය. කුලඟන සමිතිය ඉදිරියේ අමුඩය කැඩූ විට කුලඟනෝ වික්ෂිප්ත වෙති. ස්වකීය හිස මත වැටුණු කාබනික පොහොර නිසා ගොවීහු නන්නත්තාර වූහ. ආණ්ඩු විරෝධී පෙළපාලි මුලින්ම පටන් ගන්නේ එතැනිනි. ඉන් ටික කලකට පසු හාල් මිල ඉහළ නගින්නට විය.

ජීවන වියදම ද වර්ධනය වූ අතර ලංකා ඉතිහාසයේ වැඩිම උද්ධමනය වාර්තා වන්නට පටන් ගත්තේය. වැඩේ එතැනින් නැවතුනේද? කිසිසේත්ම නැත. ඊළඟට ඩොලර් ප‍්‍රශ්නය මතුවිය. පෙට‍්‍රල් ෂෙඞ්වලින් ඉන්ධන අතුරුදන් වී පෝලිම් ප‍්‍රදර්ශනය වීමට පටන් ගත්තේය. ගෑස් නැති විය. බෙහෙත් හිඟ විය. ඩොලරය රුපියල් 340 ක මිලට කළු කඩවල අලෙවි විය. මුදල් ඇමැතිතුමා අත්තනෝමතික ලෙස පිස්සු කෙළින බව ජනයාගේ මතය විය. මිනිසුන් සමූහ වශයෙන් පාරට බසින්නේ එතැන් සිට ය. ඊයේ පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේදී මේ ප‍්‍රශ්නවලට පිළිතුරු ලැබෙන සහ බඩට කා ජීවත් විය හැකි වටපිටාවක් නිර්මාණය කෙරෙනු ඇතැයි මේ රටේ ජනයාගේ මතය වූ නමුත් කිසිදු මඟුලක් සිදුවී නැත. ඊයේ කරන ලද මායාවෙන් උද්ඝෝෂණ ගින්නට තවදුරටත් පිදුරු දමන ලදී. මිනිස්සුන් අත පෙට‍්‍රල් හෝ ඞීසල් තිබුණේ නම් ඔවුන් ඒ ගින්නට වත් කරන්නේ එකී ඉන්ධන බව අප මතක තබාගත යුතුය. හෙට ගැන කිසිදු අපේක්ෂාවක් මේ මොහොතේදී අප ඉදිරිපිට නැත. අපේ සවන්වල දෝංකාර දෙන්නේ ටින් කබලක් තුළට බොරලු දමා සෙලවූ හඬ පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment