ටිපරය ඇඟලුම් බසයේ ගැටී 13කට තුවාල

113

ඇඟලුම් කර්මාන්තශාලා සේවක සේවිකාවන් ප‍්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් සහ ටිපර් රථයක් හොරණ – කොළඹ මාර්ගයේ කුඹුක හන්දියේ දී ඊයේ (1) මුහුණට මුහුණ ගැටීමෙන් 13 දෙනකු තුවාල ලබා ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.

තුවාල ලැබූවන් අතර ටිපර් රථ රියැදුරු ද වන බව පොලිසිය කියයි.

ටිපර් රියදුරු රියදුරු අසුනේ සිරවී සිටි අතර ප‍්‍රදේශවාසීන් දැඩි පරිශ‍්‍රමයක් දරා පිටතට ගෙන රෝහල් ගත කර ඇත.

බුලත්සිංහල ප‍්‍රදේශයේ සිට ඇඟලුම් සේවක සේවිකාවන් පනස් දෙනකු පමණ කහතුඩුව දක්වා ප‍්‍රවාහනය කරමින් සිටියදී කුඹුක හන්දියේ දී විරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයක් බස්රථයට කඩාවැදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.

මේ හේතුවෙන් හොරණ කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් පැය එකහමාරකට අධික කාලයක් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.

තුවාල ලද රියැදුරු සුවසැරිය ගිලන් රියෙන් හොරණ මූලික රෝහල වෙත යොමු කිරීමට ප‍්‍රදේශවාසීන් විසින් කටයුතු කෙරිණි.

තුවාල ලද ඇඟලූම් සේවක සේවිකාවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

ටිපර් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හෝ නින්දයෑම අනතුරට හේතුව වන්නට ඇතැයි සැක කරන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මොරගහහෙන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. නලීන් සංජීව මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පො.ප. ජගත්, උ.පො.ප. යූ. ජී. කරුණාරත්න යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment