ණය ප්‍රතිව්‍යුහගතකරණය අතීසාරයට අමුඩ ගැසීමක්ද?

198

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පෙර කළ යුතුවන්නේ ණය සැබැවින්ම ආපසු ගෙවිය හැකි ආකාරය තේරුම් ගැනීමයි. ණය ගෙවන්නට නම් පළමුව රටේ ආදායම් උත්පාදනය වැඩි කරන ආකාරයත් රටේ ආනයන වියදම් අඩු කරගත හැකි ආකාරයත් ඇතුළත් සංවර්ධන සැලැස්මක් සකසා තිබිය යුතුය. ඒ සංවර්ධන සැලැස්ම මත ආයෝජන සැලැස්මක් ද සම්පාදනය කළ යුතුය. එය බැංකුවකට, ණය හිමියෙකුට විශ්වාසනීය වන ව්‍යාපාර සැලැස්මක් විය යුතුය. එමඟින් ලබාගෙන ඇති ණයත් අලුතින් ලබාගන්නා ණයත් ගෙවන ආකාරය පැහැදිලි විය යුතුය. වසර 2 ක් තුළ රටේ ආදායම් වියදම් පරතරය නැති කරගෙන පසුව අතිරික්තයක් ලබාගෙන ණය ආපසු ගෙවීම ආරම්භ කරන ආකාරය ප්‍රකාශයට පත් කළ යුතුය. එවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කිසිම ණය හිමියෙක් දෙවරක් හිතන්නේ නැත.

මේ දිනවල රටේ සියලුම දෙනාගේ අවධානය යොමුව ඇත්තේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැනයි. විශේෂයෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැනයි. රටේ ජනතාවට දැනගනීමට අවශ්‍යව ඇත්තේ මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තමන්ගේ ජීවිතයට බලපාන ආකාරයයි. තමන්ගේ ආදායම අඩුවෙයිද වියදම් දරන්නට බැරිවෙයිද? තව තවත් පටි තදකරගන්නට වෙයිද? යන්නයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සංවාදය පටන්ගත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසියක් මතය. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි දැම්මේ අපේ රට ඉන් ණයක් ගන්නට යෑම නිසාය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ණයක් ගන්නට ගියේ රටට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමට ඩොලර් නැති නිසාය. වෙනත් කිසි තැනකින් ඩොලර් ණයක් ගන්නට බැරි තත්ත්වයකට රට වැටී සිටි නිසාය. එසේ වන්නට හේතු වූයේ කලින් රට ගෙන තිබූ විදේශ ණය පොරොන්දු වූ වෙලාවට ගෙවන්නට රටට ඩොලර් නොමැති වූ නිසාය. එනම් රට බංකොලොත් වී තිබූ නිසාය.

වර්තමානයේ දී ශ්‍රී ලංකාව අවුරුදු පතා ඩොලර් බිලියන 5 ක් පමණ ණය හා පොලිය ආපසු ගෙවිය යුතුව ඇත. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රට ලබා දීමට පොරොන්දු වී ඇත්තේ අවුරුදු 3 ක කාලයක් පුරා ඩොලර් බිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් පමණි. ඒ නිසා ඉන් අපේ එදිනෙදා වැඩකටයුතු කරගෙන යෑමට වත් අරගෙන තිබෙන ණය ආපසු ගෙවීමට වත් ප්‍රමාණවත් නැත. එසේනම් මෙතරම් කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකාව මේ සුළු ණය ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබාගතයුත්තේ ඇයි? උත්තරය නම් ණයක් දෙන්නටවත් වෙන කෙනෙක් නැති නිසාය.

වෙනත් ණය හිමියන් ශ්‍රී ලංකාවට ණයක් දෙන්නට කැමැති නැත්තේ ඇයි? ඊට හේතුව නම් කලින් ගත් ණය ගෙවාගන්නට නොහැකිව බංකොලොත් රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති නිසාය. එම නිසා ණයක් ලබාදීමට පෙර ඒ ණය ගෙවන ක්‍රමය ශ්‍රී ලංකා රජය පැහැදිලි කළ යුතුව ඇත. නැතිනම් ඒත් විසඳුමක් ණය හිමියන්ට ඇත. එනම් කුමක් හෝ දේපළක් උගස් කිරීම හෝ විකිණීම හෝ කළ යුතුය. ඒ විකල්පය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන් වන චීනය හා ඉන්දියාව ඉදිරියේ ඇත. රජයට ඒ විකල්පයට යෑමට හැකියාව නැත. රට උගස්කිරීම රට පාවාදීමක් වේ. එමෙන්ම ඉන්දියාව හෝ චීනය හෝ තවදුරටත් ලංකාවේ භූමිය අල්ලා ගැනීමෙන් රට ජාත්‍යන්තර බලවතුන්ගේ පොර පිටියක් බවට පත් වීමේ අවදානම තවත් වැඩි වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය දීමේ ප්‍රධාන කොන්දේසිය වන්නේ සෙසු ණය හිමියන් හා සාකච්ඡා කර දැනට තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි. එනම් ණය නොගෙවා සිටීමට හෝ ණය ගෙවීම ප්‍රමාද කිරීම හෝ ගෙවන පොලිය අඩු කිරීම හෝ වෙයි. ඇයි ඉතින් ණයහිමියන් ඊට කැමති විය යුත්තේ? පිළිතුර නම් නැතිනම් ණයගැතියා කොහොමත් ණය නොගෙවා

සිටින නිසාය. ණයගැතියාට ගෙවන්නට බැරිනම් අයකරන්නේ කොහොමද? ඒ නිසා සහනයක් දී හෝ ණය ආපසු අයකර ගතයුතුය. නමුත් ප්‍රධානම ප්‍රශ්නය වන්නේ පසුව හෝ ණය ගෙවීමට ශ්‍රී ලංකාවට හැකිද? අවාසනාවකට මෙන් ඊට උත්තරයක් ශ්‍රී ලංකා රජයට නැත. ඒ නිසා ණය හිමියන් පවසන්නේ පළමුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරගෙන පැමිණෙන ලෙසයි.

බෝලය යළිත් ශ්‍රී ලංකා රජයේ කොටුවට වැටී ඇත. පුළුවන් නම් කරගෙන වරෙන් විදේශ ණය හිමියන් රජයට අභියෝග කළේය. දැන් ලංකාව තමන් රට තුළින් ලබාගෙන ඇති දේශීය ණය ආපසු ගෙවන ආකාරය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුය. දේශීය ණය හිමියන් ද ඇයි තමන්ට පාඩු කරගෙන ණය ප්‍රතිසංස්කරණය කළ යුත්තේ? කිසිම ණය හිමියෙක් ස්වකැමැත්තෙන් ණය කපාහරින්නට කැමති නැත. ඒ නිසා රජය සුපුරුදු පරිදි හඬක් නැති දුර්වල දුප්පත් අහිංසක ජනතාවගේ වත්කම්වලට අත තබා ඇත. එනම් රජය බලහත්කාරයෙන් තම අධිකාරී බලය අයුතු ලෙස භාවිත කරමින් රටේ ජීවත් වන දුප්පත් සේවකයන් විසින් දුක්මහන්සියෙන් හම්බ කර සේවක අර්ථ සාධක අරමුදල්වල තැන්පත් කර තිබෙන මුදලින් රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කර ඇත. මිටි තැනින් සුපුරුදු පරිදි වතුර බැසගොස් ඇත.

කළයුත්තේ කුමක්ද?

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පෙර කළ යුතුවන්නේ ණය සැබැවින්ම ආපසු ගෙවිය හැකි ආකාරය තේරුම් ගැනීමයි. ණය ගෙවන්නට නම් පළමුව රටේ ආදායම් උත්පාදනය වැඩි කරන ආකාරයත් රටේ ආනයන වියදම් අඩු කරගත හැකි ආකාරයත් ඇතුළත් සංවර්ධන සැලැස්මක් සකසා තිබිය යුතුය. ඒ සංවර්ධන සැලැස්ම මත ආයෝජන සැලැස්මක් ද සම්පාදනය කළ යුතුය. එය බැංකුවකට, ණය හිමියෙකුට විශ්වාසනීය වන ව්‍යාපාර සැලැස්මක් විය යුතුය. එමඟින් ලබාගෙන ඇති ණයත් අලුතින් ලබාගන්නා ණයත් ගෙවන ආකාරය පැහැදිලි විය යුතුය. වසර 2 ක් තුළ රටේ ආදායම් වියදම් පරතරය නැති කරගෙන පසුව අතිරික්තයක් ලබාගෙන ණය ආපසු ගෙවීම ආරම්භ කරන ආකාරය ප්‍රකාශයට පත් කළ යුතුය. එවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කිසිම ණය හිමියෙක් දෙවරක් හිතන්නේ නැත.

නමුත් ශ්‍රී ලංකා රජයට මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වැරදුන තැනක් ඇත. එනම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නට යෑමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකා රජයේ ණය බර තුනී කරගැනීම පමණි. නමුත් ඉන් ලංකාවට ඩොලර් ජනනය වන්නේ නැත. වෙනත් ආකාරයකින් කිවහොත් රටේ අයවැය වෙත අවධානය යොමුකළ යුතු වෙලාවේ අවධානය යොමු කර ඇත්තේ රජයේ අයවැය වෙතය. රටේ අයවැය අර්බුදය ඩොලර් හිඟයයි. ඩොලර් අර්බුදයයි. රට සංවර්ධන වැඩපිළිවෙළක් තිබේනම් රටට ඩොලර් ගලා ඒම හෝ ආනයන අඩු වීම හෝ සිදුවේ. එවිට ඩොලර් අතිරික්තයක් ඇති වී රටේ ආර්ථිකය ශක්තිමත් වේ. රටේ ආර්ථිකය ශක්තිමත් වනවිට ඉන් ප්‍රතිලාභ ලබන පිරිසක් රට තුළ වෙයි. එම ප්‍රතිලාභ ලබන පිරිසගෙන් රජයට තමන්ගේ ආදායම් වැඩි කරගත හැකිය. එපමණක් නොව රජය රජයේ වියදම් අඩුකරගත හැකි වැඩපිළිවෙළකට ද යා යුතුය. එහිදී ප්‍රධාන වශයෙන්ම දූෂණය හා නාස්තිය නැති කරන වැඩපිළිවෙළක් සම්පාදනය කළ යුතුය. එමඟින් රජයේ අයවැය යහපත් වේ. එනම් රුපියල් හිඟය හෙවත් රුපියල් අර්බුදය නැතිවේ. රට වෙනුවෙන් සෙසු ලෝකයා සමඟ ගනුදෙනු කරන නිල ණය ගැතියා වූ රජයට ඩොලර් ණය හා දේශීය ණය යන දෙවර්ගයම ගෙවා දැමිය හැකිය.

එවන් සංවර්ධන හා ආයෝජන සැලැස්මකින් තොරව ණය ප්‍රතිව්‍යුහගත කිරීම අතීසාරයට අමුඩ ගැසීමක් පමණක් වන්නේය. අතීසාරයට අමුඩය ගස ගසා හිටියාට හරියන්නේ නැත. බෙහෙත් ගත යුතුමය. නැතිනම් සිදුවන්නේ රෝගය උත්සන්න වී කබලෙන් ළිපට වැටීමය.

අශෝක අභයගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment