තනතුරු තාන්න මාන්නවලට පක්‍ෂය වෙනස් නොකළ දේශපාලනඥයා හිටපු කථානායක ජෝශප් මයිකල්

42

(ජ්‍යෙෂ්ඨ දේශපාලඥයකු වූ හිටපු කථානායක ජෝසප් මයිකල් පෙරේරා මහතාගේ අවසන් කටයුතු ඉරිදා සිදු කෙරේ.)

හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂය පොදු මිනිසාගේ පක්ෂයක් කිරීමට පියවර ගනිද්දී ඒ සඳහා සම්බන්ධ කරගත් සුවිශේෂි පුද්ගලයකු වූයේ අද දින දැයට සමුදෙන ජෝසප් මයිකල් පෙරේරා මහතාය.

1970 දී පැවැති මහ මැතිවරණයෙන් ජාඇළ ජයගෙන මැති සබයට පිවිසියේ ජේ. පාරිස් පෙරේරා මහතායි. ඔහු 1976 වසරේ අභාවප්‍රාප්ත වූ හෙයින් ජා ඇල ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට එකළ පැවති සිරිමා බණ්ඩාරනායක රජයට සිදුවිය. මෙම අතුරු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූයේ 1969 ජාඇළ නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ජෝසප් මයිකල් පෙරේරා මහතාය. 1976 අප්‍රේල් 23 වෙනිදා පැවැති එම අතුරු මැතිවරණයෙන් වැඩි ඡන්ද 8636 ක් ලබා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක පීටර් මෙන්ඩිස් මහතා පරාජයට පත්කර මැති සබයට පිවිසි ජෝසප් මයිකල් පෙරේරා 1977 දී මහා මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ ප්‍රබල කථිකයෙක් විය.

ජේ.ආර්. ජයවර්ධන මහතා සමග රට පුරා එක්සත් ජාතික පක්ෂ රැස්වීම් ඇමතීමට මයිකල් පෙරේරා මහතා සහභාගී විය. මෙම මැතිවරණයේදී ජාඇළ ජෝසප් මයිකල් පෙරේරා මහතා ජයගනු ලැබුවේ දහසය දහසද ඉක්මවනු ලැබීමෙනි. 1977 මහ මැතිවරණයෙන් පසු පිහිටුවනු ලැබූ එ.ජා.ප. රජයේ නියෝජ්‍ය කම්කරු ඇමතිවරයා වශයෙන් දිවුරුම් දුන් ජෝසප් මයිකල් පෙරේරා මහතා සිය වගකීම් නොපිරිහෙලා කටයුතු කළේ ආදර්ශමත් ඇමතිවරයෙකු වශයෙනි.

1989 වසරේ මහ මැතිවරණය පැවැත්වූයේ සමානුපාත ඡන්ද ක්‍රමය යටතේය. එම මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයා වශයෙන් පෙරේරා මහතා පත්වූයේ දිස්ත්‍රික්කයේ පළමු වැන්නා ලෙස මනාප ඡන්ද එක්ලක්ෂ හතළිස් දහස් අනූ හතරක් වශයෙන් ලබා ගනිමිනි. එම මැතිවරණයෙන් පසු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ රජයේ ධීවර හා ජලජ සම්පත් ඇමති පදවිය හිමිවූයේ ජෝසප් මයිකල් පෙරේරා මහතාටය. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අභාවයෙන් පසු ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයාගේ රජයේ රාජ්‍ය ව්‍යාපාර හා ජනතාකරණ ඇමතිවරයා වූ ජෝසප් මයිකල් පෙරේරා මහතා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පදවියට පත් වූ විට එම පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් පත් වී සිදුකළ මෙහෙවර ඉතා ප්‍රශංසනීය වූ එකක් විය.

තනතුරු තාන්න මාන්න ලෝභයෙන් කිසිම විටෙක තම දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය වෙනස් නොකර එකම ප්‍රතිපත්තියක් නියෝජනය කළ නායකයෙකු ලෙස ජෝසප් මයිකල් පෙරේරා මහතාගේ චරිතය ජනගත වී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ විවිධ තනතුරු හෙබවූ ජෝසප් මයිකල් පෙරේරා මහතා දිවංගත වන විට 82 වන වියේ පසුවිය. 1941 සැප්තැම්බර් 15 වෙනි දින උපත ලද මෙතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ තුඩැල්ලේ ක්‍රිස්තුරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත.

කුඩා කාලයේ සිට තම ගම් ප්‍රදේශයේ ළමා සමිති පිහිටුවාගෙන සමාජ සේවයට පිවිසි ජෝසප් මයිකල් පෙරේරා මහතා තරුණ අවධියේම දේශපාලන කටයුතුවලට එක්වූයේ එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය පිළිගනිමිනි. මෙතුමාගේ දේශපාලන ගුරුවරයා වූයේ අතීතයේ ජා ඇල එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා වූ දිවංගත පාරිස් පෙරේරා මහතාය. ප්‍රදේශයේ ජනතාව සමග කටයුතු කරමින් සමූපකාර ව්‍යාපාරයට එක්වූ පෙරේරා මහතා ක්‍රීඩා හා තරුණ සමාජ පිහිටුවා එම සංවිධානවල නිලතල දරමින් ජනතාව සමග ජීවත්වෙමින් කටයුතු කළේ නැගී එන තරුණ නායකයෙකු ලෙසය. දඩුහම්පේරුව කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂයේ කටයුතු සංවිධානය කළ මෙතුමා 1964 සිට 1976 දක්වා ජා ඇල නගර සභාවේ මන්ත්‍රීවරයෙකු හා නගරාධිපතිවරයෙකු වශයෙන්ද පත්වෙමින් සිදුකළ මෙහෙවර ඉතා විශාල විය.

මෙම සෝබර අවස්ථාවේදී ඔබට මාගෙත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේත්, එක්සත් ජාතික පක්ෂයේත් ශෝකය පළ කර සිටින්නෙමු. එතුමාගේ අවසන් කටයුතු ඉරිදා සවස ජාඇල කණුවන සුසාන භූමියේදී සිදුකෙරුණද එජාපයට ජනතාවට ඔහු කළ මෙහෙවර සදා අමරණීය වන්නේය.

එජාප සභාපති – වජිර අබේවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment