හොරෙන් රට යන අයට සුරක්‍ෂා දොර වැසෙයි

75

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදෙස් රැකියාවලට ගොස් කරදරවලට පත්වන අයට අප්‍රේල් 01 වැනිදා සිට ඒ ඒ රටවල පිහිටුවා තිබෙන සුරක්‍ෂා නිවාසවල රැකවරණ ලබා නොදෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කර සිටී.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් වෙනුවෙන් විදේශීය තානාපති කාර්යාලවල කම්කරු සුභසාධන අංශ යටතේ සුරක්ෂා නිවාස ස්ථාපිත කර ඇති අතර, එමගින් විදේශ රැකියාවල නියුතුව සිටියදී අවශ්‍ය විවිධ සේවාවන් ලබා ගැනීම සඳහා තානාපති කාර්යාල වෙත පැමිණෙන කාන්තාවන්ට අවශ්‍ය සුභසාධන පහසුකම් හා නේවාසික පහසුකම් ලබාදීම සිදුකරනු ලබයි.

මෙම සුරක්ෂා නිවාස ස්ථාපිත කර ඇත්තේ නීත්‍යානුකූල රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් වෙනුවෙන් පමණක් වන නමුත් මේ දක්වාම කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශගත වූ කාන්තාවන් වෙතටද සුරක්ෂා නිවාසවලින් අවශ්‍ය සියලු සුභසාධන පහසුකම් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබිණි. නමුත් අප්‍රියෙල් 01 වැනිදා සිට එසේ කරන්නේ නැත.

විශේෂයෙන්ම නීත්‍යානුකූල මාර්ගයන්ගෙන් කාන්තාවන් රැකියා සඳහා විදේශ ගතවීමට උනන්දු කිරීමත්, විවිධ තැරැව්කරුවන් හා නීත්‍යානුකූල නොවන විදේශ රැකියා ආයතනවල මැදිහත්වීමෙන් විදේශ රැකියා සඳහා කාන්තාවන් යොමුවීම අධෛර්යමත් කිරීමටත් ගනු ලැබූ පියවරක් වශයෙන් කාර්යාංශය මෙම තීරණයට එළැඹී තිබේ.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment