ත්‍රිරෝදය උකස්කර බූරු ගසා පැරදී – සරම මූණේ ඔතාගෙන කෝච්චියට පනින්න ගිහින්

511

රැකියාව වශයෙන් කුලී ගමන් යන සිය ත්‍රිරෝද රථය රුපියල් එක් ලක්ෂ විසිදහසකට උකස් කර බූරු ගසා පරාද වී ඇතිවූ සිත්තැවුලෙන් සරම ඔළුවේ ඔතාගෙන කෝච්චියට පැන සියදිවි නසාගැනීමට උත්සාහ කළ පුද්ගලයකු බේරාගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.

පානදුර, මාලමුල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයකු මෙසේ බේරාගත් බව පොලිසිය කීය.

පානදුර පොලිස් නිලධාරීන් පානදුර දුම්රිය ස්ථානයෙන් බැස එන මගීන් පරීක්ෂා කරන අතරතුර එම පුද්ගලයා දුම්රිය මාර්ගයේ

බෑගයක් සහ සරමක් ඇතැතිව ගමන් කරන අයුරු දැක සැක සිතී පරීක්ෂා කිරීමේදී බෑගයේ තිබූ පොතෙහි ඔහු පානදුර මෝදර බූරු පිටියේදී ත්‍රිරෝද රථය රුපියල් එක්ලක්ෂ විසි දහසක මුදලකට උකස් කර පරාද වී ඇතිවූ සිත්තැවුලෙන් දුම්රියට පැන දිවි නසාගන්නා බවට සටහන් කර තිබූ බව පොලිසිය කීය.

අතේ තිබූ සරම පිළිබඳ විමසීමේදී සඳහන් කර ඇත්තේ දුම්රිය පැමිණෙන විට බිය නිසා මූනේ ඔතාගෙන දුම්රියට පැනීමට රැගෙන ආ බවයි. පොලිස් නිළධාරීන් විසින් එම තැනැත්තා මනෝ උපදේශනය සඳහා යොමුකළ බව උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක තිලකරත්න සහ උප පොලිස් පරීක්ෂක හේමාල් වීරසිංහ ඇතුළු නිලධාරීන් විසින් සැකකරු පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකර තිබේ.
වාද්දුව සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment