තෙල් පාඩම සහ කොහාගේ පාඩම

914

මෙදා සැරේ මේ රටේ තෙල් මාෆියාවට කෙළවෙන බව අපට හැඟේ. අපට දුක විදුලිබල මාෆියාවට කෙළවීමට තවමත් අප තුළ ඇති නොහැකියාව ය.

පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව තුළ හටගත් ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යෑම නිසා මේ රටේ දේශපාලන ඇස් නළලේ වදින තරමට පුළුල් විය. එහි ප්‍රතිපලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳාම විවෘත කිරීමට තීන්දුවක් ගන්නා ලදි. එනම් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගමට අමතරව වෙනත් සමාගම්වලට ද ශ්‍රී ලංකාව තුළ ඉන්ධන විකිණීමේ අවසරය ලබා දීමටය. එසේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පුද්ගලිකකරණය කිරීමය. මේ ප්‍රතිපත්තිමය තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් දින කිහිපයකට පසු චීනයේ සිනොපෙක් සමාගම, ඔස්ටේ්‍රලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම සහ ඇමරිකාවේ ආර්.එම්. පාර්ක්ස් සමාගම ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ෂෙඩ් විවෘත කිරීම සඳහා ඉදිරිපත් වූහ. අන්තිමට කියූ ඇමරිකන් සමාගම ලංකාවට එන්නේ ෂෙල් සමාගම සමග හවුල් ව්‍යාපාරයක් ලෙසිනි. ශ්‍රී ලංකාවේ ආරම්භක ඛනිජ තෙල් සැපයුම්කරුවා වන්නේ ෂෙල් සමාගම ය. ලංකාව යටත් විජිතයක්ව පැවැති සමයේදී මුල් වරට මෙරටට කාර් ගෙන්වන ලද කල්හි ඒවාට තෙල් ගසනු ලැබුවේ ෂෙල් සමාගමේ තෙල් පීප්පවලිනි. එකල ඉලක්කම් වැටෙන ඉන්ධන පොම්ප සහිත පෙට්‍රල් ෂෙඩ් මේ රටේ තිබුණේ නැත. අනෙක මේ කියන කාලයේදී වාහනවලට තෙල් ගහන ලද්දේ ලීටර් ගණනට නොව ගැලුම් ගණනටය. ලංකාවේ තෙල් වෙළෙඳපොළේ මුල මැද අග යන සියල්ලම ෂෙල් සමාගම දනී. ඒ නිසා ඇමරිකන් සමාගම සමග හැප්පීමේදී සයිනෝපෙක් සමාගම සහ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම යන දෙකට සෑහෙන ගේමකට අවතීර්ණ වීමට සිදුවනවා ඇත. මෙවිට සිපෙට්කෝ සමාගමට සිදුවිය හැක්කේ කුමක්ද? එය වහාම පුද්ගලිකකරණය නොකොළොත් එහි අනාගතය පෙට්‍රල් මෙන්ම දැවී යෑමට ඉඩ තිබේ. සිපෙට්කෝ සමාගමේ හිමිකරුවන් වන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයෝ තුන්දහසක් පමණ සිටිති. එම සංස්ථාව සතුව පෙට්‍රල් ෂෙඩ් 300 ගණනක් තිබේ. IOC සමාගම සතුව ඇති ඉන්ධන හල් ගණන 125 ට අඩුය. ඒ සමස්තයේම සිටින සේවක ගණන 100 කි. ඉතින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට කෙළවීම පුදුමයක්ද? කවර හෝ නොපෙනෙන බලවේගයක් මගින් මේ සංස්ථාව මේ මට්ටමින් හෝ පවත්වාගෙන යන බව පැහැදිලිය. ඒ බලවේගය දෙවියන් වේවා, ස්වභාවධර්මය වේවා, විශ්ව ශක්තිය වේවා, වෙන ඕනෑම මඟුලක් වේවා එය නොතිබෙන්නට ඛනිජ තෙල් සංස්ථාව හැඳි ගෑවී ගොස් ඉවරය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යනු තනිකරම දේශපාලන පත්වීම් සමූහයකි. මෙහි සේවකයන්ට වඩා වෘත්තීය සමිති තිබෙන බව පෙනේ. සේවකයින් 3000 කට පඩි ගෙවීමටත් හොර OT සහ හොර නොවන OT ගෙවීමටත් ඉන්ධනවලින් ලැබෙන ලාභය හොඳටම මදිය. ඒ නිසා ඒ කටවල් පියවීම පිණිස ලාභයෙන් පසු එන ඉන්ධන ආදායමෙන්ද කොටසක් වැය කිරීමට සිදුවිය. මෙය මේ ආකාරයෙන් දිගු කලක් පැවතීම නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන පිට බිලියන පාඩු ලබන්නට පටන් ගත්තේය. මේ සංස්ථාව ඉතා අවාසනාවන්ත බිස්නස් එකකි. ආණ්ඩුවේ ආයතන සියල්ලම පාහේ මේ සංස්ථාවෙන් ණයට තෙල් ගනී. එම ණය නොගෙවන විට තවදුරටත් එම ආයතනවලට තෙල් නොදෙන බවට තෙල් සංස්ථාව තර්ජනය කරයි. එවිට තෙල් සංස්ථාවට රුපියල් බිලියනක පමණ ණය ඇති එකා රුපියල් මිලියන 200 ක් පමණ ගෙවා සංස්ථාව ෂේප් කරගෙන නැවත තෙල් ගහන්නට පටන් ගනී. තෙල් සංස්ථාවේ ලොකුම ණයකරුවා විදුලි බල මණ්ඩලය ය. අප දන්නා පරිදි විදුලි බල මණ්ඩලය අඩුම ගණනේ බිලියන තුන් හාරසීයක්වත් තෙල් සංස්ථාවට ණය ය. විදුලිබල මණ්ඩලය ද හොරුන්ගේ තිප්පළකි. අලි බබා සහ හොරු 40 කතාවේ එන අලි බබා නමැති යහපත් මිනිහා මෙහි නැති අතර හොරු 40 පමණක් අගේට සිටිති. විදුලිබල මණ්ඩලය තුළ ඉංජිනේරු මාෆියාව යනුවෙන් චෞර ජාලයක් තිබේ. මේ චෞර ජාලයට අයත් ඇතැම් අයට Hydro Power Station ඇත. තව සමහරුන්ට පාවෙන විදුලි බලාගාර සමග ව්‍යාපාරික සම්බන්ධකම් ඇත. තවත් සමහරුන් සතුව ජෙනරේටර් ද තිබේ. රට තුළ විදුලි බල හිඟයක් ඇතිවන සෑම අවස්ථාවකදීම මේ කට්ටිය විදුලි බලය එකට පහේ rate එකට විදුලිබල මණ්ඩලයට විකුණති. මේ අයට හිතවත් පාවෙන විදුලි බලාගාර මෙරට මුහුදු සීමාවේ සිට කට ඇරගෙන ලංකාවේ ලයිට් කොයිවෙලේ නිවී යද්දැයි බලා සිටිති. ඉන්ධන හිඟයෙන් ලයිට් නිවුණු සැණින් පාවෙන විදුලි බලාගාරය ශ්‍රී ලංකා මුහුදු සීමාවට ගෙන ගොස් අපට කරන්ට් එක සැපයීමට ඔවුන්ට පුළුවන. ඉංජිනේරු මාෆියාව නමැති හොර හැතිකරය තුළ රටට හිතවත් ඉංජිනේරුවෝ ද සිටිති. මේ තොරතුර අපට ලබාදෙන ලද්දේ ඔවුන් විසින්ය.

කිසියම් රටක ආණ්ඩුවක් බිස්නස් කරන්නට පටන්ගැනීම ඉතාම වැරදි වැඩකි. ආණ්ඩුව කළ යුත්තේ බිස්නස් කිරීම පෞද්ගලික අංශයට පවරාදී ඒ බිස්නස්වලින් බදු අයකර එම බදු මුදල් යොදවා රටේ යටිතල පහසුකම් වර්ධනය කිරීමය.

අපට මීට අමතර කාරණයක් කීමට ද තිබේ. ගිය සැරේ සිංහල අවුරුද්දට ‘කොහෝ කොහෝ’ ගීතය ගයන සනත් නන්දසිරිත් කොහාත් යන දෙදෙනාම ජීවතුන් අතර සිටියහ. මේ සිංහල අවුරුද්දට ජීවතුන් අතර සිටින්නේ කොහා පමණි. එහෙත් සනත් නන්දසිරිගේ කොහෝ කොහෝ ගීතය අදටත් ඉතිරිව ඇත. කෙසේ වුවද අවුරුදු කීපයක පටන් කොහා ටිකක් පරක්කුය. අප්‍රේල් 1 දා සිටම සනත් නන්දසිරි කොහෝ කොහෝ කියද්දී කොහා තම ගීතය ගායනා කරන්නේ අප්‍රේල් අන්තිමට ය. ලෝකය ද කොහා ද වෙනස් වෙමින් පවතී. ලංකාව ද වෙනස් විය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment