තෙල් සංස්ථාවේ අර්බුදය: එක මිටට ‘ජන සටන’ තීන්දුව සඳුදා

207

අනිවාර්ය නිවාඩු යැවූ තෙල් සේවකයෝ මානව හිමිකම් යති

රාජ්‍ය ආයතන විකිණීම, මර්දනය, ජීවන වියදම, බදු ප්‍රතිපත්තිය, විදුලි ගාස්තු අඩු කිරීම හා සියලු දෙනාට රුපියල් විසිදහසක දීමනාවක් ලබාගැනීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල්කරගෙන ක්‍රියාත්මක කරන ‘ජන සටන’ ඒකාබද්ධ වෘත්තීය අරගලය පිළිබඳ තීන්දුව ලබන සඳුදා (03 වැනිදා) ප්‍රකාශයට පත් කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.

සාමාන්‍ය ජන ජීවිතයට අවම බලපෑමක් සිදුවන පරිදි වෘත්තීය සටන ක්‍රියාත්මක කරන බවද ඒ මහතා කීය. ඒ අනුව සියලු වෘත්තීය සමිති, දේශපාලන පක්‍ෂ, බහුජන සංවිධාන ආදී සියල්ල ඒකරාශී කරගෙන ආණ්ඩුවට එරෙහිව මෙම සටන් ක්‍රියාත්මක කරන බවද සමරසිංහ මහතා කීය.

ඒ අනුව සඳුදා (03 වැනිදා) රැස්වී මෙම ‘ජන සටන’ සම්බන්ධව එකඟතාවකට පැමිණ එදින අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරන බවද ඒ මහතා පැවසීය.

ඔවුන් සිය තීරණය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර ඇත.

සිය ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ඍජු සාකච්ඡාවක් ඉල්ලා සිටිය ද මේ දක්වා එම අවස්ථාව නොලැබුණු බවත්, බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉල්ලා සිටින අන්තර්කාලීන විසඳුමක් ද ලබා දීමට රජය අපොහොසත්ව ඇති බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.

ගැටලු විසඳා ගැනීම සඳහා සිය වෘත්තීය සමිති ලබාදුන් කාලය රජය විසින් අවභාවිත කරමින් සහ නොසලකා හරිමින් කටයුතු කිරීම කනගාටුදායක වුවත්, යුක්තිය ඉටුකර ගැනීම සඳහා නොබියව සටන් වදින බවත්, වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

සෞඛ්‍ය, අධ්‍යාපන, විදුලිය, දුම්රිය, තෙල්, බැංකු, වරාය සහ ජල ඇතුළු වෘත්තීය සමිති 47කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව මේ වනවිට ද සිය ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි නිරතව සිටිති.

ආණ්ඩුව වෘත්තීය සමිති හා වෘත්තීය සමිති නායකයන් මර්දනය කරමින් රාජ්‍ය සම්පත් විකිණීමට පියවර ගනිමින් සිටින බව ලංකා ඛනිජ තෙල් සංස්ථා පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් වෘත්තීය සමිති පවත්වාගෙන යෑමටත් වෘත්තීය අයිතීන් දිනාගැනීමටත් නීතියෙන් අවසර දී තිබෙන බවද ඒ මහතා කීය.

මේ අතර තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයන් ඇතුළු විසිදෙනකු අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව ඔව්හු ඊයේ (30 වැනිදා) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

තෙල් සේවකයන්ට එරෙහිව පාලනාධිකාරිය ගෙන තිබෙන තීරණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද තීරණය කර ඇත.

කොළොන්නාව – මුතුරාජවෙල හා ප්‍රාදේශීය තෙල් ගබඩාවල සේවකයන් 28 වැනිදා සවස ආරම්භ කළ වැඩ වර්ජනය නිසා අඩාල වූ තෙල් බෙදාහැරීම ඊයේ (30 වැනිදා) වනවිට සාමාන්‍ය අතට පත්වී තිබිණි.

ශිරාන් රණසිංහ සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment