යකඩ බට හොරකමට බෙලිඅත්තේ සභාපති හා සොහොයුරා රිමාන්ඩ්

142

බෙලිඅත්ත මහහීල්ල ප්‍රදේශයේ ප්‍රජා ජල මූල ව්‍යාපෘතියකට අයත් යකඩ බට තොගයක් රහසිගතව මාලබේ ප්‍රදේශයේ ආයතනයකට අලෙවි කිරීමේ චෝදනා මත බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හා ඔහුගේ වැඩිමහල් සොහොයුරා ඊයේ (29 දා) පස්වරුවේ බෙලිඅත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුට ගෙන ඇත්තේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) සිරිල් මුණසිංහ මහතා සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන පියදාස මුණසිංහ නමැති අයයි. අදාළ ප්‍රජා ජල ව්‍යාපෘතියේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ ද ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා බව මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

බෙලිඅත්ත මහහීල්ල නැගෙනහිර ප්‍රජා ජලමූල පැරකුම් සමිතියට අයත් අඟල් දෙක ප්‍රමාණයේ ජී. අයි. බට 19ක ප්‍රමාණයක් අදාළ ව්‍යාපෘතියෙන් පසු සභාපතිවරයාගේ වැඩිමහල් සහෝදරයාගේ නිවසේ ගබඩා කර තබා තිබේ. එම එක් බටයක් අදාළ ජල ව්‍යාපෘතිය සඳහා රැගෙනවිත් ඇත්තේ රුපියල් 22000ක මුදලකටය. සභාපතිවරයා විසින් මෙම ඉතිරි බට තොගය හොර රහසේ මාලඹේ පිහිටි ආයතනයක් සඳහා එක් බටයක් රුපියල් 15000ක් බැගින් අලෙවි කර තිබේ. පසුව බට මිලදී ගත් අදාළ ආයතනයේ සේවකයන් පිරිසක් 28 වැනිදා රාත්‍රි බට ටික රැගෙන යෑමට පැමිණ තිබේ. එහි දී එම පිරිස බට ටික ගබඩා කර තිබූ සභාපති වරයාගේ වැඩිමහල් සහෝදරයාගේ නිවසට ගොස් එම බට රැගෙන යෑමට පහසු වන පරිදි කපමින් සිටියදී ප්‍රදේශයේ වෙනත් පුද්ගලයෙකු විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට කතා කර දැනුම් දී තිබේ.

ඒ අනුව බෙලිඅත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් අදාළ පිරිසගෙන් මේ සම්බන්ධයෙන් විමසා අදාළ බට තොගය පොලිස් භාරයට ගෙන 29 වැනිදා පොලිසියට පැමිණෙන ලෙස දන්වා තිබේ. ඒ අනුව සභාපති වරයා ඇතුළු පිරිස ඊයේ (29) බෙලිඅත්ත පොලිසියට ගොස් ඇති අතර එහිදී සිදුකළ මූලික විමර්ශනවලින් පසු සිද්ධියට අදාළව සැකකාර සභාපතිවරයා හා ඔහුගේ වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්තතන්ත්‍රි යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි බෙලිඅත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment