සිගරට් තවත් මට්ටු කළ යුතුය

822

අපේ රට තුළ දුම් බීම හතළිහ, පනහ දශකය වන විටත් සීමා වී තිබුණේ ඉතා සීමිත ප්‍රභූ පන්තියකට පමණි. එකල එම පන්තිය නියෝජනය කළ දේශපාලනඥයන් දුම් ඉරීමට පයිප්පය බහුල වශයෙන් භාවිත කළෝය. එකී දේශපාලනඥයන් අතර අගමැතිවරු, ඇමැතිවරු ද වූහ. ඔවුහු ඕනෑම ප්‍රසිද්ධ සභාවකට පයිප්පයක් දල්වාගෙන ආවෝය. ඔවුහු දිවංගත වී ප්‍රතිමා බවට පත්වද්දීත් අප කී පයිප්පය ද ඔවුන් සමගම සිටී. කෙසේවෙතත් පසුකාලීනව පයිප්පය සුරුට්ටු, සිගරට්, බීඩි බවට පත්වී එය මහා සමාජ ව්‍යසනයක් බවට පත්විය. මෙරට තුළ සිදුවන මරණ අතරින් සියයට 83ක්ම බෝ නොවන රෝග නිසා සිදුවන මරණ බවට සෞඛ්‍ය අංශ හෙළිකර ඇත. අප මේ කියන බෝ නොවන රෝග ඇති කරන ප්‍රධානතම සාධක හතරෙන් දුම්වැටි භාවිතය ප්‍රමුඛ සාධකයක් බවට පත්වී තිබේ.

අපේ රටේ සිටි ප්‍රසිද්ධියට පත් වූ බොහෝ දෙනකු අකාලයේ මිය ගිය අය බවට පත්වූහ. ඒ අතරින් බොහෝමයක්ම දුම්පානය සඳහා ඇබ්බැහි වී සිටියෝය. එසේ නම් ඔවුනගේ මරණවලට සෘජුවම දුම්කොළ භාවිතය හෙවත් දුම්පානය ඉවහල් වී ඇති බව සිතිය හැක. මේ වන විටත් මෙරට දිනකට පුද්ගලයන් 50කට ආසන්න ප්‍රමාණයක් දුම් පානය නිසා මරුමුවට පත්වන බව ගණන් බලා ඇත. ලෝක මට්ටමින් නම් දිනකට එය මිලියන අටක් පමණය.

කෙසේවෙතත් මෑතක සිට රට තුළ දුම්පානය සැලකිය යුතු තරමකට අඩු වී තිබීම සතුටට කරුණකි. කරන ලද සමීක්ෂණයකට අනුව අපේ රටේ සිගරට් භාවිතය සියයට 9.1කින් අඩු වී තිබේ. එහෙත් තවමත් කොහේ හෝ මුල්ලකට වී දුමක් අදින පිරිස ලක්ෂ 15ක් පමණ සිටී. එයද ක්‍රමයෙන් අඩු කර ගැනීමට රජය මැදිහත්ව කටයුතු කිරීම සිදු කළ යුතුය. එහෙත් මේ වන විට රජය ඒ සඳහා සැලකිය යුතු දායකත්වයක් දක්වන බවක් නොපෙනෙන්නේ එමගින් ලැබෙන බදු ආදායම ගැන සිතා විය යුතුය. කෙසේවෙතත් සිගරට් බදු මගින් ලැබෙන ආදායම රජයට ලැබෙනවාද එසේත් නැති නම් විදේශීය සමාගමකට එම ආදායම් ලැබෙනවාද යන ගැටලුව තිබේ. ඇත්තටම ගතහොත් සිගරට් මගින් අයවිය යුතු බදු මුදල් රජය අහිමි කර ගැනීම තුළ රජයට රුපියල් බිලියන 100කවත් ආදායම් අහිමි කර ගෙන ඇත. එම මුදල වූ කලී දක්ෂිණ අධිවේගී මාර්ගය තැනීමට ගිය මුදල හා සමානය.

කෙසේනමුත් රට තුළ සිගරට් අලෙවිය මෙලෙස අඩු වන විට එම සමාගම් බොහෝවිට විවිධ උපක්‍රම යෝදනු ලබයි. පාසල් ළමුන් දුම්පානය සඳහා නැඹුරු කරගැනීම ඒ අතර ප්‍රධාන කාරණාවක් වන අතර කාන්තාවන් අතර දුම්පානය ප්‍රචලිත කිරීමටද ඔවුන් මාන බලනවා ඇත. එබැවින් මේ සම්බන්ධයෙන් රජය පූර්ණ අවධානය යොමු කිරීම වැදගත්ය. කොළඹ දිස්ත්‍රික්කය තුළ සිටින පාසල් ළමුන් සිගරට් පානය සඳහා ඇබ්බැහිවීමේ ප්‍රවණතාවක් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණ. සිගරට් කොම්පැනි බොහෝවිට අලුත් ගැණුම්කරුවන් සොයමින් සිටින බැවින් පාසල් ළමුන් ඔවුනගේ ප්‍රධාන ගොදුරක් වී අවසන්ය. අපේ රටේ කඩයකින් සිගරට් එකක් මිලට ගැනීම එතරම් අරුමයක් නොවේ. එලෙස ඒකල වශයෙන් සිගරට් මිලදී ගැනීම අපේ රටේ බහුලය. කෙසේවෙතත් මෙලෙස සිගරට් එක, දෙක බැගින් මිලදී ගැනීමට ඇති හැකියාව අහිමි කළහොත් සිගරට් භාවිතය තවදුරටත් අවම කර ගැනීමට හැකියාව තිබේ. දැනටමත් ලෝකයේ රටවල් 107ක් පමණ මෙලෙස තනි තනි වශයෙන් සිගරට් වෙළෙඳාම තහනම් කර ඇත. සිගරට් පෙට්ටි වශයෙන් මිලදී ගැනීම බහුල වශයෙන් සිදු නොවන නිසා මෙම තහනම ප්‍රායෝගික එකක් වශයෙන් අපට ද සැලකිය හැක.

ඊට අමතරව සිගරට් ෆිල්ටරය තහනම් කිරීම ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ තවත් එක් යෝජනාවකි. ෆිල්ටරය සහිත සිගරට් පානය ශරීරයට අහිතකර නොවන බවට ප්‍රසිද්ධ මතයක් පවතී. නමුත් අප දන්නා තරමට සිගරට්ටු ෆිල්ටරය මගින් හානිය අවම වන බවක් පිළිගන්නා අයෙක් අද සමාජයේ නොමැති තරම්ය.

අප මේ සියල්ල ගෙනහැර දැක්වූයේ සිගරට් භාවිතය රට තුළ අවම කර ගැනීම කළ යුතු යුගයේ අවශ්‍යතාවක් සේ සලකාය. සිගරට් මගින් සිදුවන ආර්ථික, සෞඛ්‍ය, සමාජමය හානිය අවම කර ගැනීමට රජයද මීට වඩා දායකත්වයක් සැපයිය යුතු බව අපි නැවතත් සටහන් කරමු. දැනට බංකොලොත් තත්ත්වයේ පැවතියද ශ්‍රී ලාංකිකයන් දිනකට සිගරට් පානය වෙනුවෙන් රුපියල් කෝටි 52ක් පමණ වියදම් කිරීමද අතිශයින් දරුණු තත්ත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment