දාගොන්නට කඩා පැන්න පාතාලයෝ චන්දුට වෙඩි තබා පැනයති

724

මිනුවන්ගොඩ දාගොන්න බේරගොඩවත්ත ප්‍රදේශයට පෙරේදා (16 දා) රාත්‍රි කඩා වැදුණු පාතාල සාමාජිකයන් දෙදෙනෙකු හෙරොයින් ජාවාරමට සම්බන්ධ චන්දු නමැත්තාට වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇත.

මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරියෙකුට වෙඩිතබා තුවාල කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම, කප්පම් ගැනීම ඇතුළු චෝදනා රැසක් ඝාතනයට ලක්වූ චන්දු නමැත්තාට එල්ලවී තිබෙන බව පොලිසිය පවසයි.

මෙහිදී ඝාතනයට ලක්වූ ප්‍රභාත් ප්‍රියංකර හෙවත් චන්දු නැමැත්තා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින පාතාල කල්ලි නායකයකු වන හීනටියන මහේෂ් නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු බවද විමර්ශනවලින් හෙළිවී ඇත. තිස්හැවිරිදි වියේ පසුවන මොහු කටුනායක පීල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනයට ලක්වූ මරණකරු පෙරේදා රාත්‍රී 9.50 ට පමණ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණ ඇති නාඳුනන තුවක්කුකරුවෙකු වෙඩි තබා ඇති බවත් මොහු යතුරුපැදිය අතහැර දමා මාර්ගයේ දුවන අවස්ථාවේ වෙඩි ප්‍රහාරයට ලක්ව මාර්ගයේ වැටී මියගොස් ඇති බවත් පොලිසිය කීය. ඩුබායි හි සිටින පාතාල නායක හීනටියන මහේෂ් නැමැත්තාගේ කප්පම් මුදල් එකතු කිරීම මරණකරු විසින් සිදුකර ඇති බවට පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ, ස. පො. අ. තුසිත කුමාර යන නිලධාරීන්ගේ අධීක්‍ෂණය මත මිනුවන්ගොඩ පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පො. ප. චන්දන කුලසූරිය, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති (උප. පො. ප.) ඒ. එස්. බී. මැදගම, උප. පො. ප. ජයවර්ධන ඇතුළු නිලධාරීහු එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

හේමන්ත රන්දුනු සහ ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment