දැන් ආණ්ඩුවේ ප්‍රධානියා අපට වඩා වෙනස් – ඉදිරි මැතිවරණය තෙක් ආණ්ඩුව රකිනවා

450

මගේ ප්‍රතිපත්තිය බදු අඩු කිරීමයි
මහින්දගෙන් නිවේදනයක්

අනාගතයේ දී සෑම ඡන්දදායකයෙකුම තමන් ඡන්දය දෙන පක්ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයි හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වෘත්තිකයන්ගේ සංගම් සහ වෘත්තීය සමිති 40 ක් පමණ මාස ගණනාවක සිට ආදායම් බදු අඩු කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණවල නිරතව සිටින බවත් බදු අඩු කිරීම තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය බවත් සඳහන් කරන ඒ මහතා මැතිවරණ ළං වන විට, නොයෙක් ප්‍රචාරක උපක්‍රම හා සමාජ මාධ්‍ය මෙහෙයුම් හරහා ජනතාව කුලප්පු කර ඔවුන් කිසිදු වගවිභාගයකින් තොරව කඩිමුඩියේ අන්ධ ලෙස කිසියම් දිශාවකට රැගෙන යෑමේ උත්සාහයන් නැවත වරක් දකින්නට ලැබෙන බව ද සිය නිවේදනයේ සඳහන් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

2015 මැතිවරණයේ දී සිදුවූ ආකාරයේ වරදක් යළිත් සිදු නොවිය යුතුයි.

ඉහළ බදු බර හේතුවෙන් උගත් වෘත්තිකයන් සහ ඉහළ පුහුණුව ලත් වෙනත් ශ්‍රේණින් රට හැර යෑමට පෙළඹීම නිසා තවත් අර්බුදයක් නිර්මාණය වී ඇත. 2024 අයවැයෙන් වැට් බද්ද වැඩි කිරීම නිසා 2024 වර්ෂයේදී බදු ප්‍රතිපත්තිය රටේ ප්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට පත් වීමට නියමිතය.

බදු අඩු කළ යුතුය යන ඉල්ලීම ඉතාමත්ම ශක්තිමත් ආර්ථික මූලධර්ම මත පදනම් වූ ඉල්ලීමක් බව අප ප්‍රථමයෙන්ම කිව යුතු ය. බදු බර අඩු වූ විට, පුද්ගලයන්ට මෙන්ම සමාගම්වලට ද වියදම් කිරීමට සහ ආයෝජනය කිරීමට ඇති මුදල් ප්‍රමාණය වැඩි වේ. මේ ක්‍රියාකාරකම් නිසා ආර්ථිකයට ජවසම්පන්න බවක් ලැබේ. බදු බර අඩු කිරීම මගේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අංගයක් වූ අතර, 2006 සිට 2014 දක්වා කාලයේ දී මේ රට අත්විඳින ලද නව වසරක අඛණ්ඩ ආර්ථික වර්ධනය සාක්ෂාත් කර ගැනීමට එම ප්‍රතිපත්තිය විශාල ලෙස දායක විය.

පසුගිය වසර ගණනාව මුළුල්ලේ, රාජපක්ෂ නාමය සමග යන්තම් හෝ ගෑවී තිබුණ සෑම දෙයකටම කිසිදු වගවිභාගයකින් හෝ කරුණු සොයා බැලීමකින් තොර විරෝධයක් ගොඩ නැගීම අරමුණු කරගත් ඉතා මැනවින් සංවිධානය කරනු ලැබූ ප්‍රචාරක ව්‍යාපාරයක් විය. අඩුවෙන් බදු අය කිරීමේ ආර්ථික ප්‍රතිපත්තියත් එම රාජපක්ෂ විරෝධී ප්‍රචාරයේ ගොදුරක් බවට පත් විය.

මා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වූවත්, වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රාජ්‍ය නායකයා වන්නේද අපට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාලන පක්ෂයක නායකයෙකි. මේ රට සම්පූර්ණයෙන්ම අරාජික තත්ත්වයකට පත්වීමේ තර්ජනයක් පැවැති අවස්ථාවක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයේ ඉතිරි කාලය තුළ රට පාලනය කිරීමට පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කරන ලදී. නව ජනාධිපතිවරයා රටේ නීතිය හා සාමය ඉතා සාර්ථකව යථා තත්ත්වයට පත් කළේය. ඔහු දැන් විධායක ජනාධිපතිවරයා ලෙස රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවයි. මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණය තෙක් ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කිරීමය.

අපි තවමත් ජීවත් වන්නේ 2015 ජනවාරියේ ඇතැම් ඡන්ද දායකයන් අපරීක්ෂාකාරී ලෙස ගත් තීන්දුවල ප්‍රතිවිපාක තුළය. තවත් එවැනි වැරැද්දක් මේ රටට දරාගත නොහැකි වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment