දිමුත් යළිත් එක්දින පිලට

282

සංචාරක ඇෆ්ගනිස්තානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට දිමුත්ට අමතරව සධීර සමරවික්‍රමව අතිරේක කඩුලු රකින්නකු ලෙස එක් කර තිබේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමේ උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස්ව පත් කර තිබේ. ආබාධයක් හේතුවෙන් අයි.පී. එල්. තරගාවලියේ අවසන් තරග ක්‍රීඩා නොකළ වනිඳු හසරංගව ද එක් කර තිබේ. ඔහු බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් පිල නියෝජනය කළේය. වනිඳු පාදයේ ආබාධයකට ගොදුරු වූ නමුත් තරගාවලිය ආරම්භයට පෙර ඔහුගේ තත්ත්වය සුව අතට පත් වෙනු ඇතැයි අනුමානය මත ඔහු කණ්ඩායමට එක් කර තිබේ.

ඊට අමතරව මතීෂ පතිරණ ද පළපුරුදු වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ කසුන් රජිතට අමතරව එක්ව සිටිති.

ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන දිමුත් කරුණාරත්න එක්දින කණ්ඩායමට පිවිස සිටින්නේ වසර 2 කට අධික කාලයකින් පසුව වේ. අවසන් වතාවට දිමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2021 වසරේ මාර්තු මසදීය.

ඉදිරි පෙළ ප්‍රහාරාත්මක පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ගොදුරුව සිටින හෙයින් ඔහු කණ්ඩායමට ඇතුළත් කර නොමැත. නවසීලන්ත තරග සංචාරය අතරතුර මස්පිඬු ඉරී යෑමේ ආබාධයකට කුසල් මුහුණ දුන්නේය.

නම් කරන ලද මෙම කණ්ඩායම ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය සඳහා යවා ඇත. දෙරට අතර තරගාවලිය ජුනි මස 02 වැනිදා හම්බන්තොටදී ආරම්භ වේ. මෙම තරග 3 ම දිවා තරග ලෙසින් පැවැත්වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment