දියවැඩියාව පාලනයට නව වසරේ ඇතිකරගත යුතු අධිෂ්ඨානය

3476

උදාවූ නව වසරේ අපගේ බලාපොරොත්තු අතර මුල් තැනක් දියයුතු වන්නේ නීරෝගී දිවියක් ගතකිරීමට කටයුතු කිරීම සඳහාය. එහිදී අප සියලු දෙනා අද සිට සීනි පරිභෝජනය අඩු කිරීමට අධිෂ්ඨානකර ගන්නේ නම් එය නීරෝගී සෞඛ්‍යයට වඩාත් හිතකරය. එසේ පැවසීමට සිදුව ඇත්තේ අප රටේ ජනතාව මේ වනවිට වසරකට සීනි පරිභෝජනය පිළිබඳ වාර්තාවන තොරතුරු අනුවය. එක් පුද්ගලයකු වසරකට සීනි කිලෝ 25ත් 30ත් අතර පරිභෝජනය කරන බව හඳුනාගෙන ඇත.

මෙහි බරපතළකම වැටහෙන්නේ ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනතාව අතර දියවැඩියාව රෝගය පැවතීමේ ප්‍රතිශතය අනුවය. එනම් අප රටේ වැඩිහිටි ජනතාවගෙන් සියයට 20ක් පමණ පිරිසක් දියවැඩියා රෝගයට ගොදුරුව සිටිති.

එසේම දියවැඩියාව රෝගයට ඉතා වේගයෙන් ගොදුරු වන ජනගහනය සිටින රටවල් අතර දසවැනි ස්ථානයට පත්ව ඇති බව නවතම වාර්තාවලට අනුව සඳහන් වේ.

එසේම පසුගිය වසර දහය තුළ අප රටේ වැඩිහිටි ජනගහනය අතර දියවැඩියා රෝගය ඇතිවීමේ වේගය දෙගුණවී ඇත.

මෙම තත්ත්වය මත අප අනිවාර්යෙන්ම සීනි පරිභෝජනය අවම කළ යුතුය.

සීනි පරිභෝජනය පාලනය

සීනි පරිභෝජනය පාලනය කිරීමේදී අප වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ කෙලින්ම සීනි යොදා සකස් කළ ආහාර පාන ගැනීම සීමා කිරීමය. එක් පුද්ගලයකු වසරකට සීනි කිලෝ 25ත් 30ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කරන බව හඳුනාගෙන ඇත්තේ ආහාරවල ඇති පිෂ්ඨය මගින් ද ලැබෙන සීනිවලට අමතරවය. සීනි යොදා සෑදූ ආහාරපාන පරිභෝජනය මගින් පමණක් සිරුරට එක්වන සීනි ප්‍රමාණය ගැන අවධානය යොමු කිරීමෙනි. එනිසා නව වසරේ වැඩිහිටි ජනතාව තම ආහාර පාන ගැනීමේ රටාව සම්බන්ධයෙන් විශේෂ අවධානයෙන් යොමු කළ යුතුය.

අප සීනි පරිභෝජනය බහුලව සිදුකරන ක්‍රමයක් වනුයේ තේ, කෝපි වැනි දිනපතා පානය කරන පානවර්ග සඳහා සීනි එක්කර ගැනීම මගිනි. බොහෝ දෙනා දිනකට තේ හෝ කෝපි වැනි පානවර්ග වාර කිහිපයක් ගනු ලබති. මෙලෙස පානය කරන තේ හෝ කෝපි සඳහා එක් කෝප්පයකට සීනි තේ හැඳි එකක් හෝ දෙකක් එක්කර ගනු ලබයි. ඉන් සිරුරට ලැබෙන සීනි ප්‍රමාණය අධිකය. එනිසා එසේ සිරුරට ලැබෙන සීනි ප්‍රමාණය පාලනය කළ යුතුය. ඒ සඳහා සීනි යොදා ගන්නේ නැතිව මෙම පානවර්ග ගැනීමට හුරුවිය යුතුය. ඒ සඳහා තේ කෝපිවල ඇති කහට බව අඩුකර ගැනීම සීනි වෙනුවට මෙම පාන සඳහා කිරි, දෙහි, කුරුඳු,ඉඟුරු ආදිය මිශ්‍රකරගෙන පානයට හුරුවිය යුතුය. අපට බොහෝවිට මෙවැනි පාන සඳහා සීනි යොදා ගැනීමට සිදුවන්නේ එය සකස් කිරීමේ දී කහට බව අධික කර ගැනීම නිසාය. එනිසා කහට බව අඩුකිරීමෙන් සීනි යොදා ගැනීම පාලනය කළ හැකිය.

දෙවනුව කළයුත්තේ තේ හෝ කෝපි පානය කරන කොට ගනු ලබන කෙටි ආහාර ප්‍රමාණය සීමා කිරීමය. අපි බොහෝවිට මෙවැනි පානයක් ගන්නාවිට කේක් කෑල්ලක්, බිස්කට්, රෝල්ස්, පැටිස්, කට්ලට් වැනි කෙටි ආහාරයක් ද ගැනීමට හුරුව සිටිති. මෙවැනි ආහාර මගින් ද සිරුරට එක්වන සීනි ප්‍රමාණය අධිකය. එනිසා එම ආහාර වර්ග ගැනීම ද පාලනය කළ යුතුය.

මෙලෙස අපි සීනි නොයෙදූ තේ හෝ කෝපි කෝප්පයක් පානයට හුරුවී මෙන් සිරුරට එක්වන සීනි ප්‍රමාණය පාලනය කර ගැනීම පමණක් නොව මෙම පාන වර්ගවල ඇති නියම රසය ද විඳගත හැකිය. අපි තේ හෝ කෝපිවලට සීනි වැඩිපුර යෙදීම තුළින් සිදුකරන්නේ එම පාන වර්ගවල ඇති සැබෑ රසය යටපත්කර සීනි රසය මතුකර ගැනීමය. එනිසා නව වසරේ අප මෙතෙක් සිදුකළ වැරැදි පුරුද්ද නැතිකර ගැනීමට අධිෂ්ඨානයක් ඇති කරගත යුතුව ඇත.

තෙවනුව අප අවධානය යොමු කළ යුතු වැදගත්ම කරුණ වන්නේ අපගේ ප්‍රධාන ආහාර වේල් සඳහා තෝරා ගන්නා ව්‍යංජන වර්ග පිළිබඳවය.

අප බොහෝවිට බත් සමග ව්‍යංජන ලෙස කොස්, දෙල්, අල වර්ග, පරිප්පු, මුංඇට, කඩල ආදිය වැඩිපුර යොදාගනු ලබයි. මේවායේ ද පිෂ්ඨය අධිකය. එනිසා කොස්, දෙල්, අලවර්ග, මුං ඇට, කඩල ආදිය ප්‍රධාන ආහාරවේල් තුනේ එක් ආහාරවේලක් සඳහා යොදා ගැනීමට පියවර ගත යුතුය. බත් සමග කොළ පැහැති එළවළු සහ පලාවර්ග බිත්තර, මස්, මාළු, සෝයා වැනි ආහාරයක් ව්‍යංජන ලෙස භාවිත කළ යුතුය.

සිරුර වෙහෙසවා වැඩිපුර වැඩ නොරකන අය දිනකට ගනු ලබන පිෂ්ඨය අධික ආහාර ප්‍රමාණය අඩු කළ යුතුය. එනිසා ඔවුන් මේ ගැන වැඩි අවධානය යොමු කළ යුතුය.

සිව් වෙනුව අප පැණි බීම වර්ග පානය කිරීම සීමා කළ යුතුය. එසේම පලතුරු බීම සඳහා සීනි එක් නොකළ යුතුය. එහි ස්වභාවික රසය විඳ ගැනීමට හුරුවිය යුතුය.

අප කුඩා කල සිට ම හුරුව ඇත්තේ වැඩිපුර පැණි රස විඳ ගැනීමටය. එනිසා අප ආහාර වර්ගවල, පාන වර්ගවල ඇති ස්වභාවික රසය යටපත්කර සීනි රසය වැඩිකර ගැනීමට පියවර ගනු ලබයි. එය වැරදි ක්‍රියාවක් බව මෙම නව වසරේ දී වටහාගෙන ස්වභාවික රසයට දිව හුරුකර ගත යුතුය.

මේ අයුරින් අප ආහාර මගින් සිරුරට ලැබෙන සීනි ප්‍රමාණය පාලනය කරගත හොත් දියවැඩියාව ඇතිවීම පානය කරගත හැකිය. විශේෂයෙන්ම වැඩිහිටියන් මේ පිළිබඳව විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතුය.

දියවැඩියාව පාලනයට නව වසරේ ඇතිකරගත යුතු අධිෂ්ඨානය

කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය විද්‍යාජෝති
ප්‍රසාද් කටුලන්ද

advertistmentadvertistment
advertistmentadvertistment