දිස්ත්‍රික්ක 5ක් වියළෙයි

444

● අනූදහසක් පීඩාවට

● වැඩිම පිරිස යාපනයෙන්

● වාරි ජලාශවලින් ජලය දීමට හැකි

තව සතියයි, සමනල වැවත් ඉකිබිඳී

● වලව කුඹුරු 70%ක් විනාශයි

● උඩවලවේ ජල ධාරිතාව අන්තිම අඩියට බහී

● වලව ගොවීන්ගේ සත්‍යග්‍රහයට දින 14යි

● වනෝද්‍යාන 15ක තණබිම් වියළෙයි

● සතුන්ට ජලය හා ආහාර හිඟයක්

රට තුළ පවතින නියං තත්ත්වය හේතුවෙන් පළාත් 04 ක දිස්ත්‍රික්ක 05 ක පවුල් 27883 ක පුද්ගලයන් 89840 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. වැඩිම පිරිස වන යාපනයෙන් පමණක් පුද්ගලයෝ 69113 ක් පීඩාවට පත්ව සිටිති.

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කය, නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය, වයඹ පළාතේ පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයෙත් පීඩාවට පත් පිරිස වාර්තා වී ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ප්‍රදේශයේ පවුල් 62 ක පුද්ගලයෝ 246 ක්, වැලිගෙපොල පවුල් 1635 ක 5487 ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා පවුල් 170 ක පුද්ගලයෝ 408 ක්, සේරුවිල පවුල් 1283 ක පුද්ගලයෝ 4323 ක්, කුච්චවේලි පවුල් 987 ක පුද්ගලයෝ 3219 ක්, වෙරුගල් පවුල් 19 ක පුද්ගලයෝ 55 ක්, මූතූර් පවුල් 237 ක පුද්ගලයෝ 779 ක්, ගෝමරන්කඩවල පවුල් 50 ක පුද්ගලයෝ 195 ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව පවුල් 60 ක පුද්ගලයෝ 215 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ බමුණකොටුව පවුල් 10 ක පුද්ගලයෝ 28 ක්, ගිරිබාව පවුල් 1656 ක පුද්ගලයෝ 5412 ක්, යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ් පවුල් 1038 ක පුද්ගලයෝ 3146ක්, කයිට්ස් පවුල් 568 ක පුද්ගලයෝ 1880 ක්, චාවකච්චේරි පවුල් 3185 ක පුද්ගලයෝ 11760 ක් මුරුතන්කේනි පවුල් 956 ක පුද්ගලයෝ 3067 ක් ්මෙලෙස පීඩාවට පත්ව සිටිති.

මේ අතර වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් ගුණසේකර මහතා කියා සිටියේ කන්න රැස්වීමේදී පොරොන්දු වූ ආකාරයට ජලය ලබාදීමට වාරි ජලාශවල ජලය පවතින බවය. ඒ අනුව තව සතියක් පමණ ජලය නිකුත් කළ හැකි බවත් ඉන් පසුව වාරි ජලාශ මගින්ද ජලය නිකුත් කිරීමේ හැකියාවක් නැති බවත් ඔහු කීය.

සමනල වැව ජලාශය වාරිමාර්ගයට අයත් නොවන බවත් එය ජල විදුලිය උත්පාදනය කිරීම සඳහා විදුලිබල මණ්ඩලය මගින් පාලනය වන බවත් ඒ මහතා කීය. වාරිමාර්ගයට අයත් විශාල ජලාශ 77 ක් සහ මධ්‍ය පරිමාණ වැව් 3000 ක් පමණ පවතින බව ද හෙතෙම පැවසීය.

නමනල වැවේ ජල ගැටලුව සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්. ටී. සුමනසේකර මහතාගෙන් දිවයින කළ විමසීමේදී ඔහු කියා සිටියේ හම්බන්තොට විදුලිය කප්පාදු කර ජලය නොමැතිව විනාශයට ලක්වෙමින් තිබෙන කුඹුරු වගාව බේරා ගැනීමට ජලය ලබා දෙන ලෙස සියලුම ගොවි සංවිධාන කෘෂිකර්ම කමිටු රැස්වීමේදී ඉල්ලීමක් කර තිබෙන බවය.

වලව කලාපයට අයත් මුරවැසිහේන සහ මයුරපුර කලාපවල දැනට වගා කර ඇති හෙක්ටයාර 9000 ක පමණ ප්‍රමාණයෙන් සියයට 70 ක් පමණ වන වී වගාව සඳහා ජලය නොමැතිව විනාශයට පත්වෙමින් පවතින බවට එම කමිටු රැස්වීමේදී මහවැලි කලාපයේ ජල පාලන අංශය දැනුවත් කළ බවය.

යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම කන්න රැස්වීමේදී සාකච්ඡා කරගත් ආකාරයට පසුගිය අප්‍රේල් 20 දා ජලය මුදා හැරීමට පියවර ගත්තත් ඇතැම් ගොවීන් නොයෙකුත් ආර්ථික අපහසුකම් මැද්දේ මුදල් සොයාගෙන වී වගාව ආරම්භ කිරීමට යම් ප්‍රමාදයක් සිදුවී ඇති බව හෙතෙම කියා සිටියේය.

ජලය නොමැතිව වියැළෙන ගොයමට අද හෙට ජලය නිකුත් නොකළහොත් එම වී වගාව ආරක්ෂා කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවන වන බවත් මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් කැබිනට් මණ්ඩලය හරහා ගතයුතු බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

මේ අතර උඩවලව ජලාශයට ජලය ලබා ගැනීමට සමනල වැව ජලාශයේ ජල මට්ටම පරීක්‍ෂා කිරීම සඳහා පෙරේදා (05 දා) ගොවි සංවිධාන නියෝජිතයන් පිරිසක් එහි යෑමට උත්සාහ කිරීමේදී පොලිසිය හා උද්ඝෝෂකයන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. එහිදී පොලිසිය පහරදුන් බව උද්ඝෝෂකයෝ පවසති. ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් විදුලිබල ඇමැතිවරයාගේ නිවස වටලා විරෝධතාවක නිරතවන බවත් පැය කිහිපයක විරෝධතාවක් දක්වා අද (07 දා) නැවත ජලාශ පරිශ්‍රයට එන බවත් පවසමින් පිටව ගියහ. පැවැති තත්ත්වය හමුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලිසියේ ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන තිබුණි.

උඩවලව ජලාශයේ ජල ධාරිතාව අවසන් මෙහෙයුම් මට්ටම දක්වා පහළ බැස ඇති බැවින් ජලය තවදුරටත් නිකුත් කළ නොහැකි බව ජලාශ භාර ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා ප්‍රකාශ කර ඇත. එහි අවම ජල මට්ටම සියයට 10 ට වඩා අඩු බව ඉංජිනේරුවෝ පවසති.

සමනල වැව ඉදිකිරීමේදී පෞරාණික කිංචිගුණේ ගම්මානය ද වැව් ජලයෙන් යටවී තිබූ අතර ජලය සිඳීයෑම නිසා ජලයෙන් යටවූ ගංගාරාම විහාරස්ථානයේ චෛත්‍යයේ නටබුන් ද මතුවී තිබේ.

දිස්ත්‍රික්ක 5ක් වියළෙයි

කුඹුරු සඳහා ජලය ලබාදෙන ලෙස ඉල්ලමින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව ඉදිරිපිට වලව කලාපයේ ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහයට ඊයේට (06 දාට) දින 14 ක් ගතවී තිබිණි.

“උඩවලව ජලාශය හිඳී යෑමෙන් තම වගාවන් ට අවශ්‍ය ජලය නොලැබීම නිසා මොනරාගල, රත්නපුර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනටම අයත් ගොවි පවුල් 45000 ක් පමණ දැඩි දුෂ්කරතාවකට ඇදවැටී තිබෙනවා. තවදුරටත් පැහැදිළි කළොත් උඩවලව ජලාශයේ වම් හා දකුණු ඇළ වශයෙන් ගොවි කලාප 07 ක, ගොඩ සහ මඩ වශයෙන් දිස්ත්‍රික්ක තුනේම වගා කටයුතු කළ ගොවි පවුල් 4500 ක් පමණ මෙයින් දැඩි අසීරුතාවට ලක්වෙලා ඉන්නේ යැයි ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධව ගොවීන් භාරව ඉන්න ඇමැතිවරයාගෙන් අහපුවම දෙන උත්තර මොනවාද? ගොවියන් වැඩියෙන් වී වගා කරලාලු ‘ලෝක පරිමාණ ආහාර අර්බුදයක් එනවා’ කියලා ඇමැති දන්නේ නැද්ද? ‘ආණ්ඩුව බඩපුරවනකම් බලා ඉඳලා බැහැ වගා කරලා අර්බුදයට මුහුණ දෙන්න ඕනෑ’ කියලා අපේ රටේ ගොවි ජනයා දන්නවා. ඇමැති ඒකවත් දන්නේ නැද්ද? මොකටද ඔය පුටුවෙ ඉඳගත්තේ? උඩවලව ජලාශය 1.8% කට හිඳිලා. සමනල වැව ජලාශයේ 17% ක් ජලය තියෙනවා. වී වගාවට තව වතුර මුර 03 යි ඕනෑ. එයට අක්කර ඝන අඩි 25000 ක් පමණ වැයවෙන බව කියනවා. ‘මේ වෙලාවේ ප්‍රමුඛ අවශ්‍යතාවය මොකක්ද? කියලා කතා කරලා තීරණයක් ගන්න බැරිද?.

මේ අතර දැඩි නියඟයෙන් ජාතික වන උද්‍යාන 15 ක තෘණ භූමි වියළී ගොස් වන සතුන් උග්‍ර ආහාර හා ජල හිඟයෙන් පීඩාවට පත්වී තිබෙන බව වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති එම්. අයි. එම්. පීරිස් මහතා පවසයි.

ඊයේ (06 දා) වනවිටත් ජාතික වනෝද්‍යාන තුළ සහ ප්‍රේරණ රක්ෂිත අක්කර දහස් ගණනක් ගිනි තබා විනාශ කර තිබෙන අතර රක්ෂිත ගිනි තැබීමෙන් වල් අලි ඇතුළු වන සත්තු උග්‍ර ආහාර අහේනියකට මුහුණපා සිටියි. උරගයින් සහ කුඩා ක්‍ෂීරපායි සතුන් ගින්නට මැදිවී මියගොස් ඇති බව ඒ මහතා පැවසීය.

මේ දිනවල පවතින උෂ්ණත්වය පෙර වර්ෂවලට සාපේක්ෂව දරුණු තත්ත්වයකට පත්වී තිබේ. වියළි කලාපයේ ජාතික වනෝද්‍යානයේ, ඇලහැර, ගිරිතලේ ස්වාභාවික රක්ෂිතය, මින්නේරිය, වස්ගමුව රක්ෂිත කලාපවලට නියඟය දැඩිව බලපා තිබෙන බව ද පැවසීය.

මාදුරුඔය, වස්ගමුව, ගල්ඔය, මින්නේරිය, විල්පත්තුව, කවුඩුල්ල, අංගම්මැඬිල්ල, හොරොව්පොතාන, සෝමාවතිය, උඩවලව, බූන්දල ඇතුළු ජාතික වනෝද්‍යාන 15 ක පමණ පවතින දැඩි නියඟයෙන් තෘණ බිම් වියළී ගොස් තිබේ.

ජාතික වනෝද්‍යාන තුළ ජල පෝෂිත සිඳී ගොස් තිබෙන අතර කුඩා වැව් සිඳී ගොස් තිබෙන බව ද හෙතෙම පැවසීය. පවතින ජල සහ ආහාර අහේනියෙන් පීඩාවට පත් වන සතුන් පරිසර පද්ධතියට අනුවර්තනය වීමෙන් දුර්වල සතුන් මියගොස් ශක්තිමත් සතුන් පමණක් ඉතිරි වන්නේ යැයි ද ජාතික වනෝද්‍යාන ආශ්‍රිත ගිනි ගැනීම් වැළැක්වීමට ජල බවුසර් ඇතුළු උපකරණ මානව සම්පත් හිඟය ද බලපා තිබෙන බව ද පවසයි.

චමින්ද සිල්වා, කහවත්ත – සමරවීර නිරෝෂණ, මාතලේ විශේෂ – නිමල් ගුණතිලක, ත්‍රිකුණාමල – සමන් මල්ලවආරච්චි, මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment