නාමල් උයනේ 33 වැනි සංවත්සරයට ජපන් ජනතාවගේ පා ගමනක් 08දා

38

ජාතික නාමල් උයනේ 33 වැනි සංවත්සරයට සමගාමීව ජපන් ජනතාව විසින් සංවිධානය කරන පා ගමනක් පෙබරවාරී මස 08 වැනි දින නාමල් උයනේ සිට සීගිරිය දක්වා ආරම්භ වන බව නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැවසූහ.

දිනකට කිලෝ මීටර 25 බැගින් දින 04 කින් පසු ජපන් ජාතිකයින් පිරිස කිලෝ මීටර 100 ක් දුරින් පිහිටි සීගිරියට පා ගමනින් ළඟා වීමට නියමිත බවද උන්වහන්සේ පැවසූහ. ජාතික නාමල් උයනට සම්බන්ධ NPO Happy New Earth සංවිධානයේ ජපන් ජාතිකයන් 20 දෙනෙකු මේ සඳහා සම්බන්ධ වන බවත්, මෙම පා ගමන 100Km Adventure Walk ලෙස නම් කර ඇති බවත් රාහුල හිමියන් පැවසූහ.

1991 වසරේදී පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් මොරගහක් මත පැලක් තනා, ඒ මත සිට ආරම්භ කරන ලද ජාතික නාමල් උයන සහිත රෝස තිරිවානා නිධිය ශ‍්‍රී ලංකාවේ පමණක් නොව, විදේශීය සංචාරකයන් අතරද ඉමහත් ජනාදරයට ලක්වූ පුදබිමක් හා පරිසර නිකේතනයකි. එකල දැව සොරුන්ගේ ග‍්‍රහණයට දැඩිව ලක්ව තිබූ මෙම වනපෙත ඉන් බේරාගෙන ජාතික හා ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ තැනක් බවට සංරක්ෂණය කරන ලද්දේ වනවාසී රාහුල හිමියන් විසින්මය. දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා කඳු පන්තිය පිහිටා තිබෙන්නේ ජාතික නාමල් උයනේය. අක්කර 260ක් පුරා විහිදී ඇති නා ගස් ගහණයත්, අක්කර 105ක භූමි ප්‍රමාණයක විහිදී ඇති වසර මිලියන 500ක ඉතිහාසයකට හිමිකම් කියන කඳු වැටි හතකින් සැදුම්ලත් රෝස තිරුවානා කඳු පන්තියත් හේතුවෙන් ලෝකය පුරා සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත්ව ඇති ජාතික නාමල් උයන ඉතා සුන්දර පරිසර පද්ධතියකි.

තිසර සමල් – එප්පාවල

advertistmentadvertistment
advertistmentadvertistment