නිවාසවල, භූමිවල අමනුෂ්‍ය දෝෂ ඇතිවීම කෙරෙහි බලපාන කරුණු

1227

නිවසක ඇතිවෙන හා ඇතිකරගන්නා දෝෂයන් අතර වාස්තු දෝෂ ඉදිරියෙන් සිටී. වාස්තු දෝෂ නිවසකට ඇතුළුවුණ සැණින්ම සමහර ඒවා දකින්නට ලැබේ. පසුව කෙරෙන පරීක්‍ෂණවලදීත් තිබෙන වාස්තු දෝෂ ඇසින් දැකිය හැකිය. නමුත් නිවසක ඇසින් බලා කිවනොහැකි දෝෂයන් ද පවතී. ඒවා ඉතා ප්‍රබලව බලපෑම් කරන නමුත් දර්ශනයවීමක් නම් නොමැත. ඒවා නම් අමනුෂ්‍ය දෝෂයන්ය. නිවසක ව්‍යාපාර ස්ථානයක අමනුෂ්‍ය දෝෂ ඇතිවීම කෙරෙහි බලපාන හේතු මොනවා ද?

  1. භූමියේ ඇති දෝෂ නිසා
  2. නිවසේ වාස්තු දෝෂ බලවත්වීම නිසා
  3. බාහිර පාර්ශ්වයන්ගෙන් ඇතිකරන අණ, වින, බන්ධන, කොඩිවින, හූනියම් නිසා

නිවසක ව්‍යාපාර ස්ථානයක අමනුෂ්‍ය දෝෂයක් තිබෙන බවට සමහර සිදුවීම්වලින් හා නිවැසියන්ගේ හැසිරීමෙන් පෙන්නුම් කරයි.

හේතුවක් ඇතිව හෝ නැතිව නිවසේ අඹු සැමියන් දරුවන් නිතරම රණ්ඩු සරුවල් වීම කෑකෝ ගැසීම, විලාප දීම.

නිතරම එකෙක් හැර එකෙක් ලෙඩට, අනතුරුවලට මුහුණදීම රෝහල් ගතවීම්, මරණාසන්න වීම්.

අසල්වැසියන් විසින් එවැනි නිවාසවල පදිංචි අයට බොරු චෝදනා, අපහාස කිරීම් සමාජයෙන් කොන් කිරීම් අමනුෂ්‍ය දෝෂ ඇති නිවාසවල ජීවත් වන නිවැසියන් නිතර ශෝකීව, බියෙන්, නිතර ආවේගය, කිපීම ඇතිවීම
නිවස කොතරම් අතුපතු ගා පිරිසිදු කළත් හැඩිවීම නිවසේ දුර්ගන්ධය ඇතිවීම
උයාගත් බත් මුට්ටිය පැයක් යන්න මත්තෙන් පිළුනුවීම,
ආහාරවල රසය අඩුවීම ගල් වැලි හැපීම බළලුන් පොරකෑම,
බල්ලන් උඩබිරීම, සතුන් නිවස තුළට පැමිණීම
තෙල් කූඹි, නයි කූඹි නිවසේ සෑම ස්ථානයකම සිටීම, කළුපොල්කිච්චන් නිවස අසල නිතර ම හැසිරීම

මෙම කරුණු නිතර ම නිවසක පැවතීම හා නිවස මළානික ස්වභාවයට පත්වීම අමනුෂ්‍ය දෝෂවලට හේතු දෙන කරුණු අතර ප්‍රධාන වේ.

භූමියේ ඇතිවන දෝෂ නිසා ඇතිකරන අමනුෂ්‍ය දෝෂ

යම් භූමියක නිවසක් ඉදිකිරීමට ප්‍රථම එම භූමියේ ඉතා ම පැරණි මනුෂ්‍යයන්ගේ, සතුන්ගේ ඇටකැබලි භූමියේ පසින් වැසී තිබේ. මේවා කාලාන්තරයක සිට පැවතුණ ද මේවායේ සක්‍රීය භාවයක් පවතින සෛල ද පවතී. භූමියක නිවසක් ඉදිකිරීමට ප්‍රථම එවැනි සෛල දෝෂයන් ඇද්දැයි පරීක්‍ෂාවට ලක්කර එසේ පවතින සක්‍රීය සෛලයන්ගේ බලපෑම් ඉවත් කළ යුතුය. ඒ සඳහා වාස්තු කෙටි ක්‍රම, බහිරව පූජා ආදි තැබිය යුතුය.

මියගිය ඥාතීන්ගේ බලපෑම් ද සමහර භූමිවල පවතී. එම භූමියට ආසාවෙන් හෝ වෛරයෙන් මියගිය විට එම බලපෑම භූමියට ලැබී අමනුෂ්‍යයන් වශයෙන් එහි රැඳෙමින් නිවසක් සාදා පදිංචි වූ විටත් නිවසක් සෑදීමට ආරම්භ කළ මොහොතේ සිටත් නොයෙක් බාධා පීඩා බලපෑම් ඇතිකරයි. එවැනි භූමිවල නිවාස ඉදිකිරීමට ප්‍රථම ඔවුන්ගේ බලය හීනකළ යුතුය. ඔවුන් සතුටුකර අවසර ලබාගෙන එම බලයෙන් බලපෑම් විනාශ කර දැමිය යුතුය.

භූමිවල පවතින නොයෙක් හැඩතල මෙන්ම පාරිසරිකව පවතින බලපෑම් ද නිවසක් ඉදිකිරීමට ප්‍රථම සැලකිල්ලට ගතයුතුය. ඒ වගේම භූමියක් මිලයට ගන්නට පෙර එම භූමියේ තිබූ හා පැවති ආකාරය ද අවබෝධයෙන් යුක්තව සොයා බැලිය යුතුය. සමහර පැරණි දේවාල, කෝවිල්, විශාල නුග, බෝ වෘක්‍ෂ පැවැති හා සතුන්ගේ වධකාගාර, සතුන්ව මරණ ස්ථාන, මිනී මැරීම් සිදුවුණ භූමි, ගෙලවැලලා සියදිවි නසාගත් භූමි නොදැනුවත්කමින් මිලයට ගත්විට නිවසක් ඉදිකිරීමට ප්‍රථම ඒ සඳහා කළ යුතු ක්‍රියාමාර්ග ගතයුතු අතර හොඳම දේ නම් එවැනි භූමියක් දැනදැනම අත්පත්කර ගැනීම නොකළ යුතුය.

නිවසේ වාස්තු දෝෂ නිසා අමනුෂ්‍ය දෝෂ ඇතිවීම

නිවසේ වාස්තු දෝෂ බලවත්වීම ද අමනුෂ්‍ය දෝෂ වලට ප්‍රධානම හේතුවක් වනු ඇත. උතුරු නැඟෙනහිර දිශාවන් සම්පූර්ණයෙන් ම ආවරණය වන පරිදි අන්ධබිත්තියට (blind Walls) නිවාස ඉදිකිරීමෙන් එම නිවසට පැමිණෙන විශ්වශක්තිය අහිමි වේ. විශ්වශක්ති රේඛාව අඩපණ වේ. එවිට දේව ආකර්ෂණය, දේව බැල්ම නිතැතින්ම අහිමිවේ. එවැනි ස්ථානවල අමනුෂ්‍යයන් ප්‍රධානීන් බවට පත්වේ. ඒ වගේ උතුර, නැඟෙනහිර දිශාවල නිවස වැසීයන පරිදි කරන ඉදිකිරීම් විශාල ගස් කොළං නිසා ද මේ දිශා අඳුරුවේ. නිවසේ ආලෝකය නැතිව යයි. අඳුර රජවීම ඇතිවීම අමනුෂ්‍යයන් ඔටුනු පැලඳවීමකි. ඒවගේ ඊශාන නිරිත විශ්වශක්ති රේඛාව දුර්වල වන පරිදි ඊශාන දිශාවේ වැසිකිළිවළ, නිරිත වැසිකිලිවළ, මුළුතැන්ගෙය ද පංච ධාතූන්ට විපරිතව කෙරෙන කාර්යයන්ය. එවැනි දේ නිසා නිවසට ඇදී එන ඍණ ශක්තීන් නොපෙනෙන බලවේගයන්ට සැරිසැරීමට, නවාතැන්ගැනීමට සුදුසු ස්ථානයන් බවට පත්වීම වැලකිය නොහැක.

නිවස ඉදිරිපිට ම කොට්ටන්ගස්, කොස් ගස් වැනි වෘක්‍ෂ පලදරන කාලයේදී වව්ලන් රාත්‍රි කාලයේ පැමිණ මේවායේ ගෙඩි කාදමමින් අමිහිරි ලෙසින් ශබ්ද නැඟීම නිසා නිවසට අමනුෂ්‍ය දෝෂ රිංගයි.

පැරණි නිවාස වල සොල්දර, සිවිලිම හා වහලය අතර පිහිටා ඇති කොටස මේවා අඳුරු ස්ථාන වේ. මේ අඳුරු ස්ථාන කරා අමනුෂ්‍ය දෝෂ නවාතැන් ගනී. කිසිම විටක මේ ස්ථාන අඳුරුවීමට ඉඩ නොතැබිය යුතුය. උළු වහල වලට උළු වලින්ම තනා ඇති වීදුරු කොටස් සහිත උළුකැට තැබීමෙන් දහවල් කාලයේ ආලෝකය ලැබේ. රාත්‍රි කාලයේ මේ වහලය සිවිලිම අතර කොටස ආලෝකවීමට සුදු බල්බයක් දමන්න. මෙම කොටසේ අඳුරේ නොතබන්න. නිවසක් ඉදිකිරීමේදී සෑම විටම නිවසේ වර්ගඵලය ශුභ ගෘහ පණ්ඩයක් ලැබෙන ආකාරයට වර්ග කර ගත යුතුයි. ගෘහ පිණ්ඩය අශුභව ගතහොත් නිවාස වර්ගිකරණයේ දී මනුෂ්‍යවාසයට නුසුදුසු ධූම, කුක්කුරණය, බර හෝ කාකාය යන වශියන්ගෙන් එකකට හසුවිය හැක. මෙම නිවාස ආය වශී 04ම මනුෂ්‍ය වාසයට නුසුදුසු පදිංචියට නුසුදුසු නිවාස වර්ගයන්ය. මෙවැනි නිවසක අමනුෂ්‍ය දෝෂ නිතැතින්ම ආගමනය වේ. ඒ වගේම අශුභ ගෘහපිණ්ඩය යෙදීමෙන් 11 පොරොන්දම් නොගැළපීම යෝනි පොරොන්දම සතුරුවීමද, ප්‍රත්‍යාරි, විපත්, ජන්ම වධ, නැකත් යෙදීමද නිවසක අමනුෂ්‍ය බලපෑම් කෙරෙහි බලපවත්වන සාධකයන්ය.

නිවසේ බ්‍රහ්මපාදය දුර්වලවීම බ්‍රහ්ම පාද ලක්‍ෂ්‍ය බාධා වීමට එහිදී බිත්තිවලට පඩිපෙළට හිරවීම ද අමනුෂ්‍ය බලවේගවලට හේතුවේ.

නිවසේ ප්‍රධාන ද්වාරයට කෙලින් අභ්‍යන්තරව හෝ බාහිරව දේවතාවේ ද දෝෂයට ලක්වීම එනම් මිදුලේ තබා ඇති පහන් කණුවහි ආලෝකය ප්‍රධාන දොරින් නිවස ඇතුළට වැටීම හා නිවස ඇතුළට ප්‍රධාන දොරට කෙලින් ආගමික ශාස්තෲන්ට, දෙවිවරුන් වෙනුවෙන් තබන පහනේ එළිය නිවසින් එළියට පතිත වීම දේවතා වේද දෝෂය වේ. මෙම පහන් ආලෝකය යක්‍ෂ, ප්‍රේත, භූත කොට්ඨාස වලට නිවසට පැමිණීම මාර්ගය පෙන්වීමක් වැනිය. කෙසේවුවද නිවාසවල එළිමහනේ දල්වන බුදුපහන හෝ දෙවියන්ට තබන පහන නියාමාකාරයට නියම හෝරාවට පහන කැපනොකිරීම, අපිරිසිදුකම හා අපිළිවෙළ යන හේතුන් මත දෙවියන්ගේ පහනට හිමිකම ලබන්නේ අමනුෂ්‍ය බලවේගයන් මේ නිසා එළියේ තබන පහන් අවබෝධයෙන් නිසිපිළිවෙළට නොතැබුවහොත් නැති කරදර පැමිණිය හැක.

කෙසේ වූවත් සෑමකිල්ලටම වඩා නොසැලකිල්ල ප්‍රභලයි කියන්නා සේ නිවසේ අපිරිසිදුකම ගෙවල් මිදුල් පවිත්‍රව අතුපතු ගා නොතැබීම, මිදුල පුරා කෙළගැසීම, කැහි, හොටු දැමීම, මුත්‍රා කිරීම, නිවස ඇතුළත මකුළු දැල් නොකැඩීම, කිලිටි ඇඳුම් සති ගණන් පුටු මත තැබීමත්, ඒවායේ දහදිය ගඳට ප්‍රියකරන ප්‍රේතයන් පැමිණීම ද කුඩා බිලිඳුන්ගේ රෙදි එළියේ රාත්‍රිවන තුරු තැබීම එවිට කිරි සුවඳට ලොල්වන ප්‍රේතයන් පැමිණීම ද මුළුතැන්ගෙය තුළ හට්ටිමුට්ටි පිළුනුවී දුඟද හැමීම, නාන කාමරයේ දුර්ගන්ධය මේ ආකාරයට නිවාස තුළ පවතින අපිරිසිදුකම අමනුෂ්‍ය දෝෂවලට අතවැනීමකි.

මෙයට අමතරව බාහිර පුද්ගලයන් විසින් හතුරුකමට කරන මිනී අළුදැමීම, බන්ධන, හදි හූනියම් වලින් ද අමනුෂ්‍ය දෝෂ හටගැනේ.

කෙසේ වුවද නිවසක වාස්තු බලවත්ව ඇත්නම් මෙම බාහිර පුද්ගලයන් විසින් කරන බලපෑම් වලින් ඇතිවන අමනුෂ්‍ය දෝෂ මෙන්ම අනෙකුත් සියල්ල ද මඟ හැරීමට ඉවත්කිරීමට හැකියාව පවතී. නිවසේ 04 කොණ 08 කොණ, වහලයේ කොණ් 04 ආරක්‍ෂා කරගැනීම, නිතරම පිරිත් ශ්‍රවණය, නිවස තුළ හැකි සෑම විටම රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය, දසදිසා පිරිත, ජය පිරිත, සජ්ක්‍ඨායනා කිරීමෙන්ද, අභිසම්භිදාන, ජල නන්දන පිරිත්වලින් ආරක්‍ෂක මුට්ටිවලට නොපෑගුණ වැලි, ගල්, ඉගිනිඇට, යකඩ ඇණ, ඇත්රූප, කඹුරුඇට, ඵල අඹවලට අමතරව දක්‍ෂිණ ස්වස්තිකය තඹකොල වල ඇඳ කපා තැන්පත් කර නියමිත පරිදි වැලලීමෙන්ද මෙම අමනුෂ්‍ය දෝෂ වලින් ආරක්‍ෂා වීමට හැකිය. එවැනි ආරක්‍ෂා ක්‍රම කීපයක් ගැන ඉදිරි ලිපියක පැහැදිලි කරන්නෙමි. කෙසේ හෝ ඔබේ සිහන විමන දෙවියන්ට ප්‍රියතැනක් බවට පත්කරගන්න. දෙවියන් නොමැති තැන යක්‍ෂයන් පිනුම් ගසන බැවිනි.

නිවාසවල, භූමිවල අමනුෂ්‍ය දෝෂ ඇතිවීම කෙරෙහි බලපාන කරුණු

දේශබන්දු දේශමාන්‍ය විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද
ඩබ්. කේ.ඒ.එම්.චන්ද්‍රසිරි
දු.ක.-0777856649
සඳලංකාව

advertistmentadvertistment
advertistmentadvertistment