පාස්කු වන්දි සිද්ධිය මෛත්‍රි-පූජිත් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

155

විදේශීය සංචාරකයන් කිහිපදෙනකු ඇතුළු 271 දෙනකුට ජීවිත අහිමිකර තවත් සිය ගණනක් සදාකාලික ආබාධිතයන් බවට පත් කළ පාස්කු ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු වගඋත්තරකරුවන් අද (15දා) පෙරවරුවේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ පෙනී සිටීමට නියමිතය.

එකී වගඋත්තරකරුවන්ට පසුගිය ජනවාරි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය සත්පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තීන්දුවක් ලබාදෙමින් නියම කළ වන්දි මුදල් නිසියාකාරව ගෙවා නොමැති බැවින් ඔවුනට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නීතිමය පියවර ගන්නැයි මුල් පෙත්සම්කරුවන් කිහිපදෙනකු හා සෙසු පාර්ශ්ව කිහිපයක් ගොනුකර ඇති මොස්ම් පත්‍ර අනුව එකී පෙත්සම් අද (15දා) පෙරවරු 10.00ට කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට තිබිණි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ වන්දි මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා නිම කිරීමට තවත් දින ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගොනු කළ මෝසම් පත්‍රය, වගඋත්තරකරුවන් මෙතෙක් කොපමණ මුදලක් ගෙවා ඇති දැයි පෙන්වා දෙමින් නීතිපතිවරයා ගොනු කළ මෝසම් පත්‍රය මෙන්ම අධිකරණ නියෝගය පැහැර හැරීම අභියෝගයට ලක්කරමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් ඉදිරිපත් කළ මෝසම් පත්‍රය ද කැඳවීමට නියමිතය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment