බටේපොළදී අභිරහස් අන්දමින් මියගිය දෙදරු පියාගේ මරණ පරීක්‍ෂණය

105

බිරිඳට මල්වතු හිරිපිටියට යන බව පවසා ගෙදරින් පැමිණි මරණකරු පසුදාත් නිවසට ආවේ නෑ – පොලිසිය

ගම්පහ, කිරිඳිවැල ප්‍රධාන මාර්ගයේ මල්වතුහිරිපිටිය පොලිස් වසමේ බටේපොල පිහිටි වෙල අද්දර ජලය ගලා බස්නා පාලමක් යට ඇති බෝක්කු කටක් තුළ අභිරහස් අන්දමින් මියගොස් සිටියදී පෙරේදා (13 දා) පස්වරුවේදී සොයාගනු ලැබූ දෙදරු පියාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එම මරණයට හේතුව එළැඹෙන 27 වෙනිදාට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ගම්පහ වැඩ බලන මහෙස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා ඊයේ (14 දා) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත නියම කළේය.

මල්වතුහිරිපිටිය, බටේපොළ ප්‍රදේශයේ පදිංචි මල්ලවආරච්චිගේ බුද්ධික ප්‍රදීප් මල්ලවආරච්චි නමැති 43 හැවිරිදි පියා මරණකරු විය.

එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මල්වතුහිරිපිටිය පොලිසිය පෙරේදා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.

මල්වතුහිරිපිටිය පොලිසියේ නිලධාරීන්ගේ මඟපෙන්වීම යටතේ එම සැක කටයුතු මරණය සම්බන්ධයෙන් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය ගම්පහ වැඩබලන මහෙස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා විසින් මරණය සිදුව තිබූ ස්ථානයේදී පැවැත්විය.

මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයට පෙර මරණකරුගේ මළසිරුර බිරිඳ, පුතා සහ සොහොයුරා විසින් හඳුනාගනු ලැබීය.

මරණකරු 12 වෙනිදා රාත්‍රීයේ විදුලි පන්දම රැගෙන මල්වතු හිරිපිටිය නගරයට යන බව ඔහුගේ බිරිඳට දන්වා නිවසින් පිටව ගොස් ඇති බවත් පෙරේදා (13) දින දක්වා මරණකරු නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් සහ අසල්වැසියන් එක්ව මරණකරුව සොයා ඇති බව පොලිසිය වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවේ පැවසීය. මරණකරුගේ පුතා සහ සොහොයුරා මරණකරුව සොයමින් සිටියදී ප්‍රධාන මාර්ගයේ ඇති පාලම යට විදුලි පංකාවක් තිබෙනවා දැක ඒ ගැන සොයා බැලීමේදී මරණකරුගේ මළසිරුර ඔවුනට හමු වී ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ වැඩබලන මහෙස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා මෙම සැක කටයුතු මරණය සම්බන්ධයෙන් යම් කිසිවක් පැවසීමට යමකු සිටිදැයි විමසනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ මරණකරුගේ සහෝදරයෙකු යැයි කියන මධුශාන් ප්‍රදීප් මල්ලවආරච්චි නමැති අය මල්වතු හිරිපිටිය නගරය තුළ සැලොන් එකක් පවත්වාගෙන යන පුද්ගලයා සමග මියගිය සොහොයුරා ආරවුලක් ඇතිකරගෙන තිබූ බවත් ඒ හේතුවෙන් මෙම මරණය සැක සහිත බව වැඩබලන මහෙස්ත්‍රාත් හමුවේ පැවසීය. අධිකරණ නියෝග මත පොලිස් ආරක්ෂාව යටතේ එම මරණකරුගේ මළසිරුර ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත පෙරේදා (13) රාත්‍රී රැගෙන එනු ලැබීය.

මහෙස්ත්‍රාත් පරීක්ෂණය එළඹෙන 27 වැනිදාට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වීමට නියම විය.

සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර ඒ සම්බන්ධ ප්‍රගතිය 27 වෙනිදාට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් මල්වතුහිරිපිටිය පොලිසියට වැඩිදුරටත් නියම කෙරුණි.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment