පැහැර ගෙන ගිය වෙළෙඳ කළාපයේ තරුණයෙකු පොලිසිය බේරා ගනී

1130

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවයේ නියුතු තරුණයෙකු පහර දී , සුදු පැහැති වෑන් රථයකින් පැහැර ගෙන ගොස් සිටි කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ රියැදුරන් දෙදෙනෙකු 04/11 දින රාත්‍රී කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

කුරුණෑගල , මැල්සිරිපුර පදිංචි 22 හැවිරිදි මෙම තරුණයා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කර්මාන්තශාලාවක සේවය කළ අයෙකි .

ඉකුත් 04/11 දින උදෑසන 09.30 ට පමණ කටුනායක , 18 කණුව වී මෝළ පාරේ හුදෙකලා ස්ථානයකට සුදු පැහැති වෑන් රථයකින් පැමිණි කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ රියැදුරුවරුන් දෙදෙනෙකු , මෙම තරුණයාට පහර දී , ඔවුන් පැමිණි වෑන් රථයට දමා ගෙන පළා ගොස් තිබේ .

මේ සිදුවීම දුටු ප්‍රදේශවාසීන් පිරිසක් මේ බව කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට දැනුම් දීමෙන් පසුව , වහාම ඔවුන් එම ස්ථානයට පැමිණ තිබේ .

පසුව එම ස්ථානය අවට ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් , එම වෑන් රථය හදුනා ගෙන , එම රථයේ පැමිණි රියැදුරන් නවාතැන් ගෙන සිටි ආඩිඅම්බලම , පීල්ලවත්ත ප්‍රදේශයේ දෙමහල් කුළී නිවස වටලා තිබේ.

එම අවස්ථාවේ පැහැර ගැනීමට ලක් වූ තරුණයා පහර දී කාමරයක බැද දමා තිබූ අතර , මෙම පැහැර ගැනීම සිදු කළ රියැදුරුවරුන් දෙදෙනා හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බව පොලිසිය පැවසීය .

මෙම පැහැර ගැනීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු 33 හැවිරිදි දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් රියැදුරුවරයා 39 හැවිරිදි හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළ තුළ කුළී රථ ධාවන කටයුතු වල නිරත වී සිටින අතර , ප්‍රදේශය පුරා හෙරොයින් බෙදාහැරීමේ ජාවාරමක ද නිරත වී සිටින අතර , මෙම හෙරොයින් බෙදාහැරීමේ ජාලයේ සිදු වූ සිදුවීමක් පිළිබඳව , වැරදීමකින් මෙම තරුණයා පැහැර ගෙන පහර දී තිබූ බව පොලිසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ .

මෙම ගුවන් තොටුපොළ රියැදුරුවරුන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් මෙම පැහැර ගැනීම සිදු කළ වෑන් රථය මෙන්ම  , ඔවුන් සන්තකයේ හෙරොයින් මිලි ග්‍රෑම් 4,150 ක ප්‍රමාණයක් ද තිබී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබූ අතර , ඔවුන් දෙදෙනා 04/12 දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07 ක කාළයක් රදවා තබා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට නියමිතය .

advertistmentadvertistment
advertistmentadvertistment