පෙරළියක් නොවුණහොත් අද වන්කඩේ දී ශ්‍රී ලංකාවේ ඉරණම විසඳේවි

726

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම ජය ගත යුතු පළමු කඩඉම මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී සත්කාරක ඉන්දියාවට එරෙහිව අද (02 වැනිදා) ප.ව.2.00 ට ආරම්භ වේ.

අද පැවැත්වෙන එම තරගය සහ මූලික වටයේ ශ්‍රී ලංකාවට ඉතිරි තරග දෙක වන බංග්ලාදේශය සහ නවසීලන්තයට එරෙහිව තරග ද ඉහළ ලකුණු ලබා ගැනීමේ වේගයක් සමග ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාව ලැබෙනු ඇත.

එහෙත් ප්‍රතිවාදී ඉන්දියාවට නම් අද තරගය ජය ගැනීමෙන් පමණක්ම අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීමට හැකිය.

තරගාවලියේ මෙතෙක් අපරාජිත එකම කණ්ඩායම වන ඉන්දියාව තරග 6 කදී ප්‍රසාද ලකුණු 12 ක් ලබා එම සටහනේ ඉහළම ස්ථානයේ වැජඹෙන අතර ශ්‍රී ලංකාව තරග 6 කදී තරග 2 ක් පමණක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසු වේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ලෝක කුසලාන තරගවලදී එකිනෙකා මුණගැසුණු අවස්ථාවන් 9 ක් වාර්තා පොත්හි දැක්වෙන අතර එහි විසඳුමකින් තොරව නිමා වූ එක් තරගයකි.

අනෙක් තරග 8 දී කණ්ඩායම් දෙක තරග 4 බැගින් ජය ගෙන සම මට්ටමේ දස්කම් දැක්වූ ඉතිහාසයක් සටහන් වේ. එසේම ඉන්දියාව ලෝක ශූරයන් බවට පත් වූ 2011 වසරේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වුණේ ද අද තරගය පැවැත්වෙන වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ය.

ඉන් පසුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වන්කඩේ ක්‍රීඩාංගණයේදී එකිනෙකා මුණ ගැසෙන පළමු අවස්ථාව මෙය වේ.

ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාත් කෝලි මේ වනවිට එක් දින ජාත්‍යන්තර තරග ශතක 48 ක් ලබා ලොව වැඩිම ශතක ලාභී සචින් ටෙන්ඩුල්කාර්ගේ වාර්තාව සම කිරීමට එක් ශතකයක් පිටුපසින් සිටිමින් අද තරගයට පිවිසේ.

අද තරගය පිළිබඳව ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා සඳහන් කළේ ඉන්දියාව හොඳ කණ්ඩායමක් බව පිළිගන්නා නමුත් ශ්‍රී ලංකාව අද හොඳ තරගයක් ලබා දීමට සූදානමින් සිටිනා බවයි.

ඇෆ්ගනිස්තානය හමුවේ ලද පරාජය පිළිබඳව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා පුහුණුකරු පැවැසුවේ එම තරගය පිළිබඳ අමිහිරි මතක අමතක කර අද තරගයට හොඳ සූදානමින් කණ්ඩායම පසුවන බවත් ඇෆ්ගනිස්තානය යනු නැගී එන දක්ෂ කණ්ඩායමක් බවයි.

“මේ තරගය අපට ඉතා තීරණාත්මකයි. අපි හොඳ සූදානමකින් ඉන්නවා. කණ්ඩායමේ වෙනස්කම් පිළිබඳව තවම තීරණය කරලා නැහැ. හෙට උදේ තණ තීරුව පරීක්ෂා කර බලා කණ්ඩායම නම් කරන්න බලාපොරොත්තු වෙනවා. කුසල් මෙන්ඩිස්ට ඔහුගේ සුපුරුදු ක්‍රීඩා විලාශය අනුව ක්‍රීඩා කරන්න යැයි අපි දැනුම් දුන්නා. පීඩනය තමන්ට දාගන්නේ නැතුව පන්දු යවන්නන්ට පීඩනය යොමු කර පහර දෙන හැටි ඔහු දන්නවා” යැයි ද ශ්‍රී ලංකා පුහුණුකරු පැවසීය.

ශ්‍රී ලංකා සංචිතය

කුසල් මෙන්ඩිස් (නායක), කුසල් ජනිත්, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, ඇන්ජලෝ මැතිව්ස්, දුෂ්මන්ත චමීර, දිල්ෂාන් මධුෂංක

ඉන්දියාව

රෝහිත් ශර්මා (නායක), හර්දීක් පාණ්ඩ්‍යා (උප නායක), ශුබ්මන් ගිල්, විරාට් කෝලි, ශ්‍රෙයාස් අයියර්, ලොකේෂ් රාහුල්, රවින්ද්‍ර ජදේජා, ශර්ධුල් ඨාකූර්, ජස්ප්‍රීට් බුම්රා, මොහොමඩ් සිරාජ්, කුල්දීප් යාදව්, මොහොමඩ් ශාමි, අක්සර් පටේල්, ඉෂාන් කිෂන් සහ සූර්යකුමාර් යාදව්

කුෂාන් සුබසිංහ ඉන්දියාවේ මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment