පොලිසියටත් මෙහෙම නම් අපිට කොහොමැයි !

643

පොලිස් නිලධාරීන්ට පහරදීම් ඇතුළු ඔවුන්ගේ මුදල් සහ ජංගම දුරකථන පැහැර ගැනීම් පළාත් කීපයකින් වාර්තාවෙයි.

යක්කල පොලිස් වසමේදී පෙරේදා (5 දා) සවස දරුවා ශිෂ්‍යත්ව විභාග පන්තියට යතුරුපැදියෙන් රැගෙන ගිය විශ්‍රාමික ජනාධිපති ආරක්‍ෂක අංශයේ කාන්තා පොලිස් පරීක්‍ෂකවරියගේ අත් බෑගය රැගෙන පළා ගිය සැකකරුවකු අල්ලා ගැනීම සඳහා යක්කල පොලිසිය විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

ඇගේ බෑගයේ තිබූ රුපියල් හැටදහසක පමණ මුදල සහ ජංගම දුරකථනය මෙසේ පැහැරගෙන ගොස් ඇතැයි යක්කල පොලිසිය කියයි. පොලිසිය කියන අන්දමට සැකකරු යතුරුපැදියකින් මෙසේ පැමිණ ඇත.

බුලත්සිංහල

මේ අතර බුලත්සිංහල ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී කසිප්පු ඇල්ලීම සඳහා නිවසට ගොස් ගෝඩා බැරල් දෙකක් සොයාගත් පොලිස් නිලධාරීන් දෙදෙනකුට සැකකරුවන් පිරිසක් පහරදීම නිසා තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම පොලිස් නිලධාරීන් එම නිවසට ඇතුල් වීමෙන් පසු එහි විදුලිය නිවා දමා මෙසේ පහරදී තිබේ.

සිද්ධිය පිළිබඳව පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර

කූඩුවේ සිටින සැකකරුවකුගේ සුවදුක් බැලීම සඳහා මහනුවර පොලිසියට බීමතින් පැමිණි පුද්ගලයකුට සැකකරු බැලීමට ඉඩ නොදීම නිසා කෝපයට පත් එම පුද්ගලයා පොලිස් නිලධාරියාට පහරදී ඇති බව මහනුවර පොලිසිය කියයි.

මෙම පහරදීම සිදුකළ පුද්ගලයා පොලිස් නිලධාරීන් විසින් ඒ මොහොතේම අත්අඩංගුවට ගනු ලැබීය.

දෙනියාය

දෙනියාය පොලිස් වසමේ ඇතිවූ සිද්ධියක් පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට ගිය නිලධාරියකුගේ නිල ඇඳුමෙන් ඇද රාජකාරියට බාධා කළ බවත් පුද්ගලයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට යවා ඇත.

කොළඹ කුරුඳුවත්ත පාර අද්දර නිවසක තිබූ වාහනයක් තුළ සිට මත්පැන් පානය කළ කාන්තාවන් දෙදෙනකු සහ තවත් පුද්ගලයකු දැක ඒ පිළිබඳව පරීක්‍ෂණයක් පැවැත්වීමට ගිය පොලිස් රළහාමි කෙනකුට කාන්තාවන් දෙදෙනා පහරදී ඇත.

මේ මොහොතේ එම සැකකාරියන් අධික බීමතින් සිටි අතර ඔවුන් වැල්ලවත්තේ සහ කොල්ලුපිටියේ පදිංචිකාරියෝ බව පොලිසිය කියයි.

මෙම සැකකාරියන් රාත්‍රි සමාජ ශාලාවකට ගොස් ආපසු එමින් සිටියදී මෙසේ මත්පැන් පානය කර ඇති බව පොලිසිය කියයි.

සැකකාරියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට යවා ඇත.
නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment