බස් ලොරි ගෙන්වන්න නව චක්‍රලේඛයක්!

148

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගැනෙන බස්රථ හා ලොරි රථ සඳහා පනවා තිබූ ආනයන සීමා පසුගියදා ලිහිල් කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ඉදිරි දින කිහිපයේ දී යළි සංශෝධනය කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඊයේ සවස දෙහිඕවිට ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කළේ පොදු ප්‍රවාහන සේවාවන් සඳහා යොදාගැනෙන බස් රථ හා ට්‍රක්රථ සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කරමින් නිකුත් කළ චක්‍රලේඛය මගින් වසර 10 ක් පමණ පැරණි වාහන ගෙන්වීමට අවසර හිමි වූ බවයි.

එහෙත් ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඉදිරිපත් කළ කරුණු අනුව අවුරුදු 10 පැරණි වාහන ගෙන්වීමේදී ඒවායේ මිලගණන් අඩු වුවත් නඩත්තු වියදම, අමතර කොටස් සඳහා යන මිල ගණන් මෙන්ම ඉන්ධනවලට යන වියදම ආදිය සාපේක්ෂව වැඩි නිසා ඒ පිළිබඳ නැවත සලකා බැලීමක් කිරීමට සිදුවූ බවය. එසේම පෙරකී ආකාරයෙන් අනවශ්‍ය නඩත්තු වියදම්, අනවශ්‍ය අමතර කොටස් වියදම් හා අනවශ්‍ය ඉන්ධන වියදමක් ඇති නොවන ආකාරයෙන් බස් රථ හා ට්‍රක් රථ මෙරටට ආනයනය කිරීම සඳහා සුදුසු කාලයකට බලපැවැත්වෙන පරිදි නව චක්‍රලේඛය ඉතා කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

තිසර සමල් සෝමරත්න – එප්පාවල

advertistmentadvertistment
advertistmentadvertistment