බිලියන හතරක බදු වංචාව – වැට් වංචාකරුවන්ගේ පෙත්සම විසිවෙයි – බෙදුණු තීන්දුවක්:

527

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2004 වසරේදී සිදුවූ රුපියල් බිලියන හතරකට අධික වැට් බදු වංචාව සම්බන්ධයෙන් වරදකරුවන් කර කොළඹ මහාධිකරණය විසින් නියම කළ සිරදඬුවම් හා රුපියල් කෝටි සියගණනක් වූ දඩ ගෙවීමේ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් තිදෙනකු ගොනුකර තිබූ අභියාචනා පෙත්සම්, අභියාචනාධිකරණය ඊයේ (13 දා) තුනෙන් දෙකක බහුතර තීන්දුවකින් නිෂ්ප්‍රභ කළේය.

එම නඩුවේ පස්වන විත්තිකාර මොහොමඩ් සුවාර් පසුල් අමාවි, හයවන විත්තිකාර මොහොමඩ් මවුජුල් අමීර් හා අටවන විත්තිකාර මොහොමඩ් කමිල් කටුබ්ඩින් විසින් ගොනුකර තිබූ එම අභියාචනා, අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න, සම්පත් අබේකෝන් හා ආර්. ගුරුසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගැනිණි. මහාධිකරණය විසින් එම විත්තිකරුවන්ට ලබාදී තිබූ දඬුවම් ඉවත් කොට ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවට නිගමනය කළ, සම්පත් අබේකෝන් හා ආර්. ගුරුසිංහ යන මහත්වරු මහාධිකරණයේ තීන්දුව අනුමත කරමින් තීන්දුවක් නිකුත් කළහ.

ඉදිරිපත් වූ කරුණු අනුව විත්තිකරුවන් වරදකරුවන් කරමින් මහාධිකරණය ලබාදී තිබූ තීන්දුව යුක්තිසහගත නොවන බවට තීන්දු කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විත්තිකරුවන් තිදෙනාම නිදොස් කොට නිදහස් කරමින් තීන්දුවක් නිකුත් කළේය. ඒ අනුව බහුතර තීන්දුව මගින් එම විත්තිකරුවන්ගේ පෙත්සම් නිෂ්ප්‍රභ කෙරිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂිකා සිල්වා මහත්මිය සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment