බීමත් සැරයන්වරයාගේ මෝටර් රිය යතුරුපැදියක ගැටීමෙන් ගැබිනි කාන්තාවකට සහ සැමියාට තුවාල

400

අනුරාධපුර – පාදෙණිය ඒ 28 ප‍්‍රධාන මාර්ගයේ ශ‍්‍රාවස්තිපුර පහේ ඇළ, වෙලේ කඬේ හෝටලය අසල මාර්ගයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ අනුරාධපුර කඳවුරට අනුයුක්තව සේවයෙහි නියුතු සැරයන්වරයකු බීමත්ව පැදවූ මෝටර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් ගැබිනි කාන්තාව සහ ඇගේ සැමියා තුවාල ලබා ඇත.

පෙරේදා (08 දා) රාත‍්‍රී 7.45 ට පමණ සිදුවී ඇති එම අනතුරින් අනුරාධපුර, හිදෝගම නෙළුබෑව සමුපකාර පටුමගේ පදිංචි කේ. චමුදිත නුවන් කුමාර නමැති අය සහ ඔහුගේ බිරිඳ මෙලෙස අනතුරට ලක්ව ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

ඔවුන් දෙදෙනා මෝටර් රථයට ඉදිරියෙන් ගමන් කරමින් සිටියදී පසුපසින් ධාවනය කළ මෝටර් රථය යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අනුරාධපුර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති මෝටර් රථය පැදවූ පොලිස් විශේෂ කාර්ය බළකා සැරයන්වරයාට අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදුකළ ශ්වසන පරීක්ෂාවේදී ඔහු බීමත්ව සිට ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව සැකකරු පොලිසිය විසින් අනුරාධපුර මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment