බූරු මූණා වමාරයි

501

පුපුරන ද්‍රව්‍ය තොගයක් හංවැල්ලේ ලයිට් කණුවක් යටින් ගොඩ ගනී

මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ‘බූරු මූණා’ නමැති පාතාල ප්‍රබලයාට අයත් බව කියන සී – 4 වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය තොගයක් හංවැල්ල දසවේල්ල ප්‍රදේශයේ වළ දමා තිබියදී බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (19 වැනිදා) අලුයම සොයා ගෙන ඇත.

‘බූරු මූණා’ ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත දසවේල්ල ප්‍රදේශයේ විදුලි පහන් කණුවක් යට වළදමා තිබියදී සොයා ගත් සී – 4 පුපුරණ ද්‍රව්‍ය තොගය ග්‍රෑම් 660 ක බරකින් යුක්ත බව පොලිසිය පවසයි.

මීට මාස කිහිපයකට පෙර තවත් පුද්ගලයකු සමඟ මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය තමන් රැගෙන ගිය බවත් පොලිසියට අසුවේ යැයි ඇති බිය නිසා එම පුපුරණ ද්‍රව්‍ය තොගය වළ දැමූ බවත් සැකකරු පොලිසිය හමුවේ පාපොච්ඡාරණය කර තිබේ.

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය රැගෙන ගියේ කුමකට දැයි මෙතේ හෙළි කර නොමැත.

රවිඳු සංඛ ද සිල්වා නොහොත් බූරු මූණා කලක් නාවික හමුදා විශේෂ බළකායේ සේවය කර ඉන් පලාගිය පුද්ගලයෙකි. ආයුධ පරිහරණය මෙන්ම පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව ද මොහු විශේෂ පුහුණුවක් ලැබූ අයෙකි.

බූරු මූණා විවිධ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධවී සිටි බවට ලැබී ඇති තොරතුරු මත ඒ ඔස්සේ විමර්ශන පවත්වන බව ද පොලිසිය පවසයි.

ඔහු රත්ගම විදුර නමැති පතාල නායකයාගේ කල්ලියේ ප්‍රබලයකු බව මේ වනවිට හෙළිවී ඇත. රත්ගම විදුර මේ වනවිට ඉතාලියේ සැඟවී සිටිමින් මෙරට පාතාල කල්ලියක් මෙහෙයවයි.

බූරු මූණා සිදුකර ඇති මිනිස් ඝාතන 05 ක තොරතුරු මේ වනවිට පොලිසිය මගින් හෙළිකර ගෙන තිබේ. එම ඝාතන, රත්ගම, හික්කඩුව, වැලිකඩ, හංවැල්ල, ගාල්ල ප්‍රදේශවලදී සිදුකර ඇති බව පොලිසිය පවසයි.

සැකපිට මේ වනවිට පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරන අතර මොහුගේ රැඳවුම් නියෝග තවත් දීර්ඝ කර ගැනීමට සිදුවනු ඇති බව පොලිසිය පවසයි.

බූරු මූණා අවි ආයුධ ජාවාරමේ නිරත වී සිටි අයකු වන අතර තවත් අපරාධ රැසකට මොහු සම්බන්ධ බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර, පොලිස් අධිකාරී චන්දන ගමගේ ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.

හේමන්ත රන්දුනු – මහරගම අබේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment