බොරැල්ල පොලිසියේ දෙදෙනා හප්පා පලා ගිය මෝටර් රථ රියැදුරු රිමාන්ඩ්

665

බොරැල්ල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනකුව හප්පා අනතුරට ලක්කර බරපතළ තුවාල සිදුකර පලා ගොස් සිටි මෝටර් රථ රියදුරකු පෙරේදා (18දා) අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි.

මෙම 32 හැවිරිදි සැකකාර මෝටර් රථ රියදුරු වාහන අලෙවිසල් හිමිකරුවකුගේ පුත්‍රයකු බව හෙළිවිණැයිද පොලිසිය කියයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ඔවුන්ගේ පාදවලට බරපතළ හානි සිදුව ඇත.

අදාළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා පසුගිය 17 වැනිදා සවස රාජකාරි කටයුත්තක් සඳහා ගොස් නැවත කොල්ලුපිටිය දෙස සිට වැල්ලවත්ත දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී අදාළ මෝටර් රථ රියදුරු මෙලෙස මොවුන් අනතුරට ලක්කර පලාගොස් තිබිණි.

අනතුරුව පොලිසිය එම අනතුර සිදුකළ ස්ථානය ආසන්නයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂා කිරීමෙන් පසු සැකකරු කොල්ලුපිටියේදී කොටුකරගත් බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර රියදුරු ඊයේ (19දා) කොළඹ අලුත්කඩේ අංක 7 මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ පිළිබඳව බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සම්පත් පද්මලාල් මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගනේෂන් මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment